ශ්‍රීලනිපයේ මතය නිමල් අගමැතිට දැනුම් දෙයි : ජනාධිපතිගේ බලපෑමක් නැහැ.


අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් මෙය දැනුම් දී තිබේ.

අමාත්‍ය එස්. බී. දිසානායක පැවසුවේ අග්‍රාමාත්‍යවරයාට සිය තනතුරෙන් ඉවත් විය යුතු බවට දැනුම් දුන් බවයි.

'විශ්වාස භංගයට මගේ බලපෑමක් නැහැ' - ජනාධිපති

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමා කිසිඳු පාර්ශවයකට බලපෑම් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක්  අද (03) උදැසන  ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවේදී, අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට තම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කල විමසීමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇතැයි පැවසේ.


විශ්වාස භංගයේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ස්වාධීනව සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Powered by Blogger.