'යහපාලන ආණ්ඩුෙව් බදු පනත යහපත්' - දඹර අමිල හිමි.

යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන බදු පනත වඩාත් යහපත් වූ හොඳ පනතක් බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති දඹර අමිල හිමි පවසති.

උන්වහන්සේ මෙසේද පැවැසූහ.

'විශ්වාසභංගයෙන් පසු යහපාලනය කොයිබටද' මාතෘකාව යටතේ පුරවැසි බලය හා පුරවැසි සංවිධාන එකතුව ඒකාබද්ධව මහවැලි කේන්ද්‍රයේ පැවැති දේශපාලන සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පෙරේදා (09) ප්‍රකාශ කළහ.

මහින්ද මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මෙම බදු පනත ගැන අසත්‍ය ප්‍රචාරයන් ජනතාව අතරට ලබා දෙනවා. ඔවුන්ගේ මේ වැඩේට ඉඩ දී ආණ්ඩුව බලා නොසිටිය යුතුයි. ජනතාවට සත්‍ය හෙළිදරව් කළ යුතුයි. බදු පනතේ හොඳකම ජනතාවට කියා දිය යුතුයි. මහජන නියෝජිතයින් විධිමත් කරන අණපනත් පාර්ලිමේන්තුවට ගෙනා යුතුයි. පාරට බැහැලා ජනතාවට වැඩ කළ යුතුයි. ජනතා අවශ්‍යතා ඉටු කරන්න ආණ්ඩුව හිතට ගත යුතුයි. එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය න්‍යාය පත්‍ර නොව ජනතාවට අවශ්‍ය න්‍යාය පත්‍රය ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යුතුයි.ආණ්ඩුව ක්‍රියාවට නංවන න්‍යාය පත්‍රය හදන හිමිකරුවා විය යුත්තේ යහපාලන ආණ්ඩුවයි. යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට හිතෛෂි වැඩ කටයුතු කළ ද ඒවා ජනතාවට දැනෙන්නේ නැහැ.

ඒ නිසා තමයි ජනතාව පසුගිය මැතිවරණයේදි ඒ බව ආණ්ඩුවට දැනුම් දුන්නේ. මේ පාඩම්වලින් ආණ්ඩුව තමන්ගේ වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි. වසර 2020 වන තෙක් පසුගිය වසර තුන ගත කළා මෙන් ආණ්ඩුව නිකං ඉදිරියට යවන්න ඇතැම් බලවේගයන් උත්සාහ කරනවා. මේවා තේරුම් ගෙන ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතු සලසා ගත යුතුයි.

සතුරන්ට නිදහසේ හැසිරිය හැකි ලෙස අනවශ්‍ය නිදහසක් ලබා නොදීමට ආණ්ඩුව වග බලා ගත යුතුයි. යහපාලන ආණ්ඩුවේ න්‍යාය පත්‍රය සියයට සියයක් ක්‍රියාත්මක වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් විඳින්නට සිදු වෙනවා. එය වළක්වා ගැනීමට යහපාලන ආණ්ඩුවේ වේදිකාව ඔහුගේ වේදිකාව බවට පත් කර ගැනීමට මහින්ද මහතා උත්සාහ කරනවා. මේ කූට උපක්‍රම තේරුම් ගෙන ජනතා න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. මහින්ද මහතාගේ පාලන කාලයේදි මුළු ලංකාවම ඔහුගේ ඉඩමක් විදියට තමයි පාලනය කෙළේ. ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නට යහපාලන ආණ්ඩුව කටයුතු කරන්නේ නම් නැවත මහින්ද මහතාට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකියි.

මේ පනත සම්බන්ධයෙන් ආණ්ඩු විරෝධී පුද්ගලයන් බොරු භීතියක් ජනතාවගේ හිත් තුළ ඇති කිරීමට උත්සාහ කරන බවත් මේ පනත ගෙන ඒමෙන් මෙරට සාමාන්‍ය ජනතාවට යහපතක්ම සිදු වන බවත් උන්වහන්සේ පැවැසූහ.

ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා-

විශ්වාසභංගය ගෙනැවිත් අපේක්ෂා කළේ ආණ්ඩුව දුර්වල කිරීමටයි. නමුත් එවැනි දෙයක් වුණේ නැහැ. ආණ්ඩුවේ සිටිමින් ඇතැම් ඇමැතිවරුන් ආණ්ඩුව අස්ථාවර කිරීමට උත්සාහ කළා. මේ ආණ්ඩුවට යමක් කරනවා. නමුත් එය ජනතාවට නොදැනීම ගැටලුවක්. රටේ සිටින්නේ අමුතු ජනතාවක්. ඉතිං අපේ මේ අමුතු ජනතාවට හරියන විදියේ වැඩ කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. අපේ රට සුබසාධන රටක්. ආණ්ඩුව ලබාදුන් සුබසාධනයන් ජනතාවට දැනිලා නැහැ. මේ ආණ්ඩුව හොඳම විදියේ සුබසාධන කටයුතු සිදු කළා.

මේ අවස්ථාවට ය මාගන්කඩවල පුඤ්ඤසාර හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

Powered by Blogger.