ඉන්දියාවත් තහනම් කළ වාහනයක් ලංකාවට?


ඉන්දියාව තහනම් කළ කුඩා කාර් රථයක් දේශපාලකයන්ගේ උවමනාවට මෙරටට ගෙන ඒමේ සුදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි සඳහන් වන්නේ අදාළ රථය (Quadricycle’s)  2016 වසරේදී ත්‍රීරෝද රථයට විකල්පයක් ලෙස මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ නමුත් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකින් ලංකාවේ ධාවනය කිරීමට සුදුසු නැති බවට නිර්දේශ කර ඇති බවය.

 ඒ අනුව අදාළ රථය  ආනයනය කිරීම නවතා දැමූ නමුත් දැන් නැවතත් එය දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උවමනාවට  ආනයනය කිරීමට රජය සැළසුම් කරමින් සිටින බවත් එය ජනතාවගේ ආරක්ෂාවට මහත් තර්ජනයක් බවද එම නිවේදනයේ දැක්වේ.

 අනාරක්ෂිත නිසා ඉන්දීය අධිකරණයක් තහනම් කරලා 

 එසේම එම රථය අනාරක්ෂිත බව තහවුරුවීම හේතුවෙන් එය  නිෂ්පාදිත රට වන ඉන්දියාවේ අධිකරණයක් විසින් තහනම් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

 අප රටේ රථ වාහන අනතුරු වලින් මියයන හා ආබාධිත වන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින අවස්ථාවක රජය මෙම අනාරක්ෂිත මෝටර් රථය මෙරටට ආනයන කිරීමට සූදානම් වීම ජනතාවගේ මරණ බිය තවත් තීව්‍ර කරන්නක් බවද අදාළ නිවේදනයේ අවධාරණය කර ඇත.

 තෙමාගැනීම මාරම නිර්ණායකයක් !

 ඕනෑම භාණ්ඩයක් කිසියම් රටකට ආනයනය කිරීමට පෙර එම භාණ්ඩය නිෂ්පාදිත රටේ කොතරම් අලෙවි වනවාද යන්න ආනයනික රට සොයා බලන ප්‍රධානම සාධකයක් වන බවත් එහෙත් ඒ නොසළකා අප රටේ ජනතාවට නොතෙමී යාමට හැකි සහ  ත්‍රී රෝද රථයකට විකල්පයක් ලෙස ඉතා පටු නිර්ණායකයක සිට මෙම රථය ආනයනය කිරීමට සුදානම් වන බවද එහි දැක්වේ.

 ඒ අනුව අදාළ නිවේදනය අවධාරණය කර සිටින්නේ ජනතාවට නොතෙමී යාම එකම නිර්ණායකය නොවිය යුතු බවත් ඊට වඩා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම අතිශය වැදගත් වන බවය.

 කුඩා කාර් රථයක් ලබා ගැනීමට  ජනතාවට ඇති සිහිනය සැබෑ කිරීමට නම් රජය කල යුත්තේ මරුටි, ඇල්ටෝ කාර් රථවල බදු මුදල අඩු කිරීම බවත් ඒ නිවේදනයේ අවධාරණය කර තිබේ. 

 මෙම අනතුරුදායක මෝටර් රථය ශ්‍රී ලංකාවට අපනයනය  කිරීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා අද (අප්‍රේල් 10)  ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් භාරදීමට  සිවිල් සංවිධාන කිහිපයක් එකතුව  කටයුතු කරන බවද එහි සඳහන්ව තිබේ.  

Powered by Blogger.