''විශ්වාස භංගය පරදින බව මහින්ද දන්නවා''


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් බාර දී ඇති විශ්වාස භංගය පරාජය කිරීම ඉර හඳ සේ විශ්වාස යැයි පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටවත් විශ්වාසයක් නොමැති තත්වයක් තුල එක්බද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් එය ජය ගන්නේ කෙසේ දැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේය.

ඔහුට ඒ පිළිබඳව විශ්වාසයක් තිබෙනවා නම් විශ්වාස භංග යෝජනාවට ඔහු මුලින්ම අත්සන් කර සිය මන්ත්‍රීවරුන් දිරි ගන්වමින් ඒ අයට නායකත්වය දිය යුතුව තිබූ බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර නොමැති බව ද සඳහන් කළේය.

මේ විශ්වාස භංග යෝජනාව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී අන්ත පරාජයකට පත් කරන බව අවධාරණය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ඒකාබද්ධ කල්ලිය විශ්වාස භංග බාර දුන්නද එය ජයග්‍රහණය කිරීමට මන්ත්‍රී පිරිසක් ඔවුන්ට නැති බවද අවධාරණය කළේය.

අත්සන් කලොත් ශ්‍රීලනිප මැති ඇමතිවරු දොට්ට :

මෙම විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අත්සන් කළහොත් පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුව ඔවුන්ගේ අමාත්‍ය ධූර අහෝසි වන බවද සභා නායකවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ පස්වරුවේ කතානායකවරයාට භාරදෙනු ලැබිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන රාජ්‍ය ඇමති ටී.බී.ඒකනායක, නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.

විශ්වාසභංගය භාරදීමට සහභාගී වුනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නොමැත

විශ්වාසභංගයට අත්සන් තබා ඇති මන්ත්‍රී සංඛ්‍යාව පනස් පහක් බවත් වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් තබා නැති නමුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙන ලද්දේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසයි.

Powered by Blogger.