ජනාධිපති ලේකම්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ CIDයට දැඩි බලපෑම්?


ප්‍රශ්නගත බැඳුම්කර සිදුවීමේ සැකකරුවන්ගෙන් කවරෙකු හෝ පළාත් පාලන මැතිවරණයට පෙර අත් අඩංගුවට ගන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි බලපෑමක් එල්ල වන බව වාර්තා වේ. 

අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ මෙය මැතිවරණ උණුසුමේ ඡන්ද ගුණ්ඩුවක් කර ගැනීමට කාට වුවමනාව තිබුණ ද අදාළ නීතිමය කාරණා සම්පූර්ණ නොකර කිසිවකු අත් අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි බවයි. මෙම නීතිමය කටයුතු සඳහා යම් සාධාරණ කාලයක් ගත වන බවත් ඊට පිටින් කටයුතු කර මූලික අයිතිවාසිකම් නඩු පටළවා ගැනීමට තමන්ට වුවමනාවක් නැති බවත් ඔවුහු පවසති.

එසේම අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ ජනාධිපති ලේකම්වරයාගේ වර්තමාන ක්‍රියාකලාපය නිසා රාජපක්ෂ පාලන සමයේදීවත් නොතිබුණු තරම් පීඩනයට ලක් වීමට තමන්ට සිදුව ඇති බවයි.

එමෙන්ම, බැඳුම්කර චූදිතයන්ට ලබා දෙන චෝදනා පත්‍ර වෙනත් ස්වාධීන නීතීඥ මණ්ඩලයක් හරහා සමාලෝචනය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එයින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපතිවරයාට තමන්ගේ ම නීතිපති දෙපාර්තමේන්තුව විස්වාස නොමැති බවකි. එම ප්‍රකාශය එක්තරා ආකාරයක විහිළුවකි. කෙසේවෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ ජනාධිපතිවරයා එමඟින් තමන්ව වෘත්තීයමය වශයෙන් හෑල්ලුවට ලක් කර ඇති බවය.

වුවමනාවට වඩා උනන්දුව වැඩි වූ විට කිසිවක් කර ගත නොහැකියැයි කතාවක් ජනවහරේ තිබේ. ඉහත සිදුවීම් අනුව පෙනී යන්නේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ උනන්දුව වුවමනාවට වඩා වැඩි වී ඇති බවයි.

(Lanka News web)

Powered by Blogger.