ඇලෝසියස්, කසුන් ගැන බන්ධනාගාර නිලධාරීන්ටත් විශේෂ උපදෙස්.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන රඳවා සිටින සිර මැදිරිය අසලට ගොස්‌ එම සැකකරුවන් සමග සුහදව කතාබස්‌ කිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර අධිකාරිය අදාළ බන්ධනාගාර නියාමකයන්ට උපදෙස්‌ දී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යෑයි කියමින් ඇතැම් පිරිස්‌ මාධ්‍ය මගින් කරන විවිධ ප්‍රකාශ නතර කිරීම සඳහා බන්ධනාගාර නියාමකයන්ට මෙම දැනුම්දීම සිදු කළ බව බන්ධනාගාර අධිකාරිය පවසයි.

බන්ධනාගාරයට ලොකු පොඩි ඕනෑම සැකකරුවකු එක හා සමාන බවද බන්ධනාගාර සැකකරුවන් සහ සිරකරුවන් විශාල පිරිසක්‌ සිටියදී සැකකරුවන් දෙදෙනකු ගැන පමණක්‌ බන්ධනාගාරය අවධානය යොමු නොකරන බව කී බන්ධනාගාර ප්‍රකාශකයා මෙම සැකකරුවන් දෙදෙනාගේ අවශ්‍යතා මත ඔවුන්ට නිවෙස්‌වලින් කෑම බීම බන්ධනාගාරයට සැපයිය හැකි බවද පැවසීය.

Powered by Blogger.