ඇලෝසියස්‌ අත්අඩංගුවට : දුරකථන සංවාද යළි කරලියට.


ආන්දෝලනාත්මක බැඳුම්කර සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්‌ මහතා ඉදිරිදින කිහිපය ඇතුලතදී අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

නීතිපතිවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැඳවා, බැඳුම්කර වාර්තාවේ නිර්දේශ සලකා බලමින් රජයට සිදුව ඇති අලාභයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීමට අදාළ උපදෙස් ලබාදී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙහිදී කිසිඳු පොලිස් නිලධාරියකුට අනිසි බලපෑම් නොකරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇතැයි ද පැවසේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදී ද ජනාධිපතිවරයා කරුණු රැසක් අනාවරණය කළේය.

අලෝසියස් සමග ගනුදෙනුකල ඇමතිවරු ?

මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

''බැඳුම්කර සිද්ධියේදී අර්ජුන ඇලෝසියස්‌ගේ දුරකථන සංවාද පරීක්‌ෂා කිරීමේදී මෙවැනි තත්ත්වයක්‌ උදාවුණා. දුරකථන පරීක්‌ෂා කරගෙන යද්දී ඔහු සමග දුරකථන සංවාදයේ යෙදුණු මැති ඇමැතිවරුන්ගේ නම් හෙළිවුණා.

එම අවස්‌ථාවේදී මැතිඇමැතිවරුන්ගේ දුරකථන සංවාදවලට සවන්දුන් බවට චෝදනාවකුත් එල්ල වුණා. නමුත් එවැන්නක්‌ සිදුවුණේ නැහැ. සිදුවුණේ ඇලෝසියස්‌ගේ දුරකථන සංවාද පරීක්‌ෂා කිරීමේදී ඔහු සමග දුරකථන සංවාදයේ යෙදුණු අයගේ නම් හෙළිදරව් වීමයි.

නමුත් මෙම සිද්ධිය නිසා පොලිස්‌ නිලධාරීන්ට කටඋත්තර දෙන්න සිදුවුණා. දිගින් දිගටම මෙවැනි තත්ත්වයක්‌ ඇතිවුවහොත් අපක්‍ෂපාතීව වැඩකරන රාජ්‍ය නිලධාරීන් අධෛර්යමත් විය හැකියි.''

වංචා දූෂණ හෙළි කිරීමේදී ඒ පිළිබඳව කටයුතු කරන නිලධාරීන් සහ ආයතන දුර්වල කිරීමට ඉඩ නොතිබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Powered by Blogger.