ආණ්‌ඩුව නීති විරෝධියි?


එක්‌සත් ජාතික පක්‌ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අතර හවුල් ආණ්‌ඩුව දීර්ඝ කිරීමේ නව ගිවිසුමක්‌ තමන්ට ලැබී නැතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 ස්‌ථාවර නියෝග 23/2 යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පසු ඇති වූ විවාදයේදී කථානායකවරයා මේ බව කීවේය.

 දිනේෂ් ගුණවර්ධන මහතා,

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිශ්චිතව ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව දක්‌වා ඇති බව පිළිගන්නවාද? අද වනවිට මෙම සංඛ්‍යාව උල්ලංඝනය කර ඇති බව පිළිගන්නවාද? අගමැතිවරයා විසින් මෙම පත්වීම් නිර්දේශ කළ යුතු බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව කියෑවෙනවා. අගමැතිගේ උපදෙස්‌ මත ජනාධිපතිගේ අත්සන යටතේ ලිපියක්‌ මගින් ඇමැතිවරුන් පත්කිරීම ගැන සඳහන්.

 පසුගිය මාසයේදී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ශ්‍රියානි විඡේවික්‍රම හා පියසේන ගමගේ යන අය පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නිර්දේශයක්‌ තිබෙනවාද? ව්‍යවස්‌ථාවේ ඉහත වගන්තිය අනුව එජාපය හා ශ්‍රීලනිපය අත්සන් කළ ගිවිසුම 2017 දෙසැම්බර් 31 දිනට අවසන් වී ඇති බව පිළිගන්නවාද? ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු සංඛ්‍යාව තිහක්‌ දක්‌වා අඩුවිය යුතු බව පිළිගන්නවාද?

 සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා,

 ඇයි ඔබතුමා ශ්‍රියානිට විරුද්ධ?

 දිනේෂ් ගුණවර්ධන මහතා - ශ්‍රියානිව ඔබතුමා ළඟින් තියාගන්න. හවුල් ආණ්‌ඩු ගිවිසුම ඉවරද නැද්ද කියන්න.

 කථානායක - අගමැතිතුමා ඉදිරියේදී පිළිතුරක්‌ දෙයි.

 සභානායක- නෛතික ප්‍රශ්නයක්‌ නෑ. ඒ අය එන්න සූදානම් නම් අපි භාරගන්න ලෑස්‌තියි.

 අනුර කුමාර දිසානායක මහතා - ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනඟනවා කියන පදනම මතයි ඇමැතිවරුන් 48 ක්‌ හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 45 ක්‌ පත් කළේ. එජාපය හා එජනිස ගිවිසුම අනුව හවුල් ආණ්‌ඩුවේ කාලය අවසන්. කථානායකතුමනි ඔබතුමාට නව ගිවිසුමක්‌ දුන්නද?

 කථානායක- නෑ දුන්නේ නෑ.

 සභානායක - ජාතික ආණ්‌ඩුව අපේ ප්‍රශ්නයක්‌.

 අනුර දිසානායක මහතා - නෑ. එය රටේ ප්‍රශ්නයක්‌. ගිවිසුම දීර්ඝ කළා නම් කථානායකට භාරදෙන්න.

 කථානායක - මට එහෙම ලිපියක්‌ ලැබී නෑ.

 සභානායක - ජාතික ආණ්‌ඩුව අපේ වැඩක්‌...

 අනුර කුමාර දිසානායක මහතා - නෑ...නෑ...තමුන්නාන්සේලාගේ වැඩක්‌ නොවේ...

Powered by Blogger.