ජනපතිට මඩගහන්න ප්‍රචාරණ ආයතනයකට බාරදෙයි.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එක්ව තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා වගකීම ප්‍රචාරණ ආයතනයකට බාරදී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(23දා) පැවසීය.

එහිදී තමාට විරුද්ධව කිසිඳු චෝදනාවක් කළ නොහැකි බැවින් පෞද්ගලික ජීවිතය අලලා මඩ ගැසීම මෙම පිරිසේ සැලසුම වී තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටී.

ඒ අනුව ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර තිබෙන බවත්,තමාට මඩ ගසමින් කුමක් ප්‍රචාරය කළද තමන් ඒ කිසිවකට බිය නොමැති බවත් සිරිසේන මහතා අවධාරණය කළේය.

ඉකුත් දිනකදී මෙම පිරිස එක්ව සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්,එම සාකච්ඡාවට සම්බන්ධ වූ අයෙකු තමන්ට සියලු විස්තර ලබාදුන් බවත් ජනාධිපතිවරයා හෙළි කළේය.

පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව ඊයේ (23 දා)ටෙක්නිකල් හන්දිය අසල සංවිධානය කර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලියේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය ජනාධීපතිවරණයේදීද තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කළ බවත්,එවැනි බාල උපක්‍රම මගින් තමන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වූ බවත් මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ෆයිසර් මුස්තාපා,චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Powered by Blogger.