විල්පත්තු විලත්තියිකුලම් රක්‍ෂිතයේ අවභාවිතය ගැන විශේෂ විගණන වාර්තාව.


විල්පත්තුව රක්‍ෂිතය විනාශ කිරීම සම්බන්ධව පසුගිය කාලය පුරා සමාජයේ විශාල කතාබහක් ඇතිවිය. සමාජ කණ්ඩායම්, පරිසර සංවිධාන, දේශපාලන පක්‍ෂ ඇතුළු බොහෝ පිරිසක් මෙම විනාශය නතර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. පසුගිය රජය සමයේදී ආරම්භ වූ විල්පත්තුවේ වන විනාශය වත්මන් ආණ්ඩුව සමයේද සිදුවිය. ගස් කපා, මාර්ග ඉදිකර, නිවාස තනා මිනිසුන් පදිංචි කිරීම සම්බන්ධව සාක්‍ෂි සහිතව කරුණු අනාවරණය වෙද්දී සියලු කරුණු සොයා බලා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් සකස් කළේය. එම වාර්තාව සකස් කළ ආකාරයත්, සොයා බැලූ කරුණු පිළිබඳවත්, ඉදිරියේදී කුමක් කළ යුතුද යන්න සම්බන්ධවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවට ඇතුළත් කර තිබේ. පහතින් දැක්වෙනුයේ එම වාර්තාවය.

උක්ත වාර්තාව නිකුත් කිරීමේ පසුබිම  සහ වාර්තාවේ ස්වභාවය 
වන සංරක්‍ෂක ජනරාල්වරයා වෙත රක්‍ෂිත වනාන්තරයක් ලෙස පවරා දී තිබූ භූමිභාගයක කොටසක් එළිපෙහෙළි කොට නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් මහජනතාව අතර ඇතිවූ කරුණු ගැඹුරින් පරීක්‍ෂා කර බැලීම හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම.

මෙම වාර්තා පිළියෙල කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදයන්
2.1 ලේඛන, පොත්පත් හා වාර්තා පරීක්‍ෂා කිරීම.

2.1.1 පරිසර අමාත්‍යාංශයේ ලේකම් අමතා තිබුණු 2012 නොවැම්බර් 22 වැනිදා දිනැති අංක පීටීඑෆ්/එන්පී/1 දරන නැවත පදිංචි කිරීම, සංවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය - උතුරු පළාත -‍ ලේකම්ගේ උතුරු පළාතේ අවතැන් වූ මුස්ලිම් පවුල් සම්බන්ධයෙන් වූ ඉඩම් නොමැති ගැටලු නමැති ලිපිය

2.1.2 2013 මැයි 08 දිනැති අංක ඊඑම්ඩීඑල්/04/02/08/11/2012 දරන වන සංරක්‍ෂක ජනරාල් විසින් දිසාවන නිලධාරීන් මන්නාරම අමතන ලද අවතැන්  වූවන් නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම යන ලිපිය හා 2013 පෙබරවාරි 14 දිනැති සංරක්‍ෂක ජනරාල් විසින් මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇමතූ ලිපිය. 

2.1.3 2012 නොවැම්බර් 22 දිනැති අංක පීටීෆ්/එන්පී/1/4 දරන දිස්ත්‍රික් ලේකම් මන්නාරම අමතා තිබුණු ලේකම්, නැවත පදිංචි කිරීම, සංවර්ධන සහ ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති කාර්යසාධන බළකායේ මුස්ලිම් පවුල් නැවත පදිංචි කිරීම සඳහා කැලෑ  ඉඩම් නිදහස් කිරීම යන ලිපිය.

2.1.4 1980 අංක 47 දරන ජාතික පරිසර පනතේ 23 වැනි වගන්තියේ නියමයන් යටතේ පළකර ඇති 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය.

2.1.5 රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම හා පාලනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් 2008 මාර්තු 12 දින ගෙන තිබූ තීරණය සහ ඒ හා සම්බන්ධ 2007 මැයි 25 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය.

2.1.6 ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ 2008 ජුනි 13 දිනැති අංක CD/1/34-(1) 2008 දරන රජය සතු  ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම, පාලනය කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම යන චක්‍රලේඛය.

2.1.7 ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008 අගෝස්තු 20 දිනැති  අංක 2008/4 දිනැති %රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම, පාලනය කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම^ යන චක්‍රලේඛනය

2.1.8 2012 මාර්තු 06 දිනැති අංක 3/සං/4/1 මුලතිව් දරන ප්‍රා‘දේශීය ලේකම් - මුහුදුබඩ පත්තුව ඇමතූ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ ඉඩම් නොමැති මුස්ලිම් පවුල් 1455ක් පදිංචි කරවීම සඳහා රජයේ කැලෑ ඉඩම් නිදහස් කර ගැනීම මුහුදුබඩ පත්තුව මුලතිව් නැමති ලිපිය

2.1.9 වන සංරක්‍ෂක දෙපාර්තමේන්තුව ඇමතූ මන්නාරම දිසා වන නිලධාරීන් 2012 අගෝස්තු 24 සහ 25 දිනයන්හි ජනාධිපති කාර්යසාධක බළකාය විසින් කරන ලද ක්‍ෂේත්‍ර පරීක්‍ෂාවේදී මන්නාරම ඉඩම් සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කරන ලද නිර්දේශ යන 2012 අගෝස්තු 27 දිනැති වාර්තාව.

2.1.10 2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හෙට්ටයාර 2.108ක් විශාලත්වයෙන් වූ වනාන්තරය විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට  පත් කරන ලද ලේඛනය.

2.1.11 2012 ඔක්තෝබර් 10 දිනැති ලේකම්, ජනාධිපති කාර්යසාධක බළකාය ඇමතූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකගේ වාර්තාව.

2.1.12 වන සංරක්‍ෂක ජනරාල් අමතන ලද පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ 2012 දෙසැම්බර් 14 දිනැති අංක 02/06/04/34/IMC(vii) දරන උතුරු පළාතේ අවතැන් වූ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ගැටලු සාකච්ඡා කිරී^ යන වාර්තාව

2.1.13 2015 අප්‍රේල් 10 දිනැති ලේකම් ඉඩම් අමාත්‍යාංශය වෙත යවා තිබූ ජනධිපති උපදේශකගේ ඉඩම් ගැටලු පිළිබඳ සාකච්ඡාව - 2015 අප්‍රේල් 02 නම් වූ වාර්තාව.

2.1.14 2015 නොවැම්බර් 09 දිනැති අංක EMDL/04/02/08/11/2012 දරන නීතිපති ඇමතූ %අභියාචනාධිකරණයේ නඩු අංක CA(wtit) 291/2015* දරන වන සංරක්‍ෂකගේ ලිපිය හා අදාළ ඇමුණුම්.

2.1.15 ජනවාරි මාසයේ අංක 2013/01 දරන ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ උතුරු හා නැගෙනහිර පළාත්වල පශ්චාත් යුද ගැටුම් සමයේ රජයේ ඉඩම්වලට අදාළ ගැටලු විසඳීමේ කඩිනම් වැඩසටහන යන මැයෙන් යුතු චක්‍රලේඛය.

2.1.16 දිසා වන නිලධාරී - මන්නාරම අමතූ, මධ්‍යම පරිසර අධ්‍යක්‍ෂකගේ 2013 මැයි 07 දිනැති මුසලි, මඩු මාන්තෙයි දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මුස්ලිම් පවුල් නැවත පදිංචි කිරීම යන ලිපිය

2.1.17 ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් පළාත් ඉඩම් කොමසාරිස් (උතුරු පළාත) ඇමතූ 2013 අප්‍රේල් 18 දිනැති අංක 3/4/1 /ඉ.කච්/මුසලි විශේෂ (01) දරන ඉඩම් කච්චේරි අනුමැතිය ලබාදීම - මුසලි ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසය යන ලිපිය.

2.1.18 2001 අගෝස්තු 10 දිනැති අංක 5/2001 දරන ලේකම් වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ රජයට අයත් සියලුම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්‍ෂකට පැවරීම නමැති චක්‍රලේඛය

2.1.19 වන සංරක්‍ෂක ආඥා පනත - රක්‍ෂිත වනයේ සීමාවන් වෙනස් කිරීම /රක්‍ෂිත වනයෙන් කොටසක් රක්‍ෂිතයෙන් නිදහස් කිරීම.

2.1.20 දීර්ඝ කාලයක සිට පදිංචිව සිට නොමැති නිසා වසාදමා තිබූ නිවාසවල විස්තර.

2.1.21 සමාගම් ලියාපදිංචි ලේඛනය Omega Construction Company (pvt) ltd.

2.2 වෙනත් පරීකෂාවන් 

2.2.1 විගණන නිලධාරීන් විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරය හෙළිපෙහෙළි කර ඇති ස්ථාන වෙත ගොස් භෞතික පරීක්‍ෂාව සිදුකිරීම.

2.2.2 වන සංරක්‍ෂණ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම.

2.2.3 මුසලි ප්‍රා‘දේශීය ලේකම්ගෙන් තොරතුරු පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීම.

2.2.4 ග්‍රාම නිලධාරීන් සමග විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරය වෙත ගොස් පදිංචි කිරීම පිළිබඳ භෞතික පරීක්‍ෂා කර බලා ප්‍රකාශ සටහන් කර ගැනීම.

විෂය පථය සීමාවීම
මෙම වාර්තාව පිළියෙල කිරීමේදී මාගේ විෂය පථය මත දැක්වෙන සීමා කිරීම්වලට යටත් කළ බව අවධාරණය කරනු  ලැබේ.

3.1 2012 වර්ෂයේ සිට රක්‍ෂිත වනාන්තර හෙළි පෙහෙළි කර පදිංචි කිරීම සිදුකර තිබූ අතර, එයට වසර 05කට පසු එනම් 2017 වර්ෂයේදී මෙම විගණන කටයුතු සිදුකිරීම.

3.2 1990 වර්ෂයට පසු අවතැන් ජනතාව පිළිබඳ නිවැරදි දත්ත සහ ඔවුන් අනාථ කඳවුරුවල සිටියේද යන්න තහවුරු කර ගැනීම සඳහා වන දත්ත නොතිබීම.

3.3 2009 වර්ෂයෙන් පසු නැවත පදිංචි කිරීම සඳහා පැමිණීමේදී තමන් පදිංචිව සිටි මුල් ස්ථාන අහිමි වූ අයගේ නාමලේඛන කිසිවක් නොතිබීම.

3.4 ඉඩම් නොමැති බව සඳහන් කරමින් රක්‍ෂිත වනාන්තරයේ (අක්කර භාගය බැගින්) ඉඩම් ලබාදී තිබු පවුල් 1030ක් සතුව වෙනත් ස්ථානවල ඉඩම් හිමිව තිබුණු බව විගණනයේදී පරීක්‍ෂා කිරීමට නොහැකි වීම.

පොදු කරුණු 
4.1 ජනාධිපතිතුමා විසින් උතුරු පළාත් සංවර්ධනය කිරීම සඳහා කාර්යසාධන බළකායක් 2009 මැයි 07 දින ස්ථාපිත කර තිබිණි. එම බළකායේ ප්‍රධාන අරමුණු අතර අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ ඔවුන් පුනරුත්ථාපනය, උතුරු පළාතේ සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය වේ.

4.2 2009 මැයි 07 දින පිහිටුවා තිබූ උක්ත ජනාධිපති කාර්යසාධක බළකාය විසින් 2012 නොවැම්බර් 12 දින තම කටයුතු ඉටු කර ගැනීම සඳහා කමිටුවක් ස්ථාපිත කර වාර්තා කැඳවා තිබුණි. කමිටුවේ යොමු කිරීමේ අනුදේශ (term of preference) පහත පරිදි වේ.

 (අ) ග්‍රාම නිලධාරී වසම් අනුව අවතැන් පවුල් සහ පුද්ගලයන් සම්බන්ධ ඇස්තමේන්තු කිරීම.

 (ආ) 2009 වර්ෂයට පෙර සහ පසුව නැවත ඔවුන්ගේ  ගම්මානවලට පැමිණි පවුල් සහ පුද්ගලයන් හඳුනා ගැනීම.

(ඇ) නැවත පැමිණිය හැකි පුද්ගලයන් හා පවුල් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු කිරීම.

 (ඈ) සෑම ගම්මානයකම වර්තමානයේ පවතින ඉඩම්වල වපසරිය.

 (ඉ) සෑම වර්ගීකරණයක් අනුව ඉඩම් අහිමි වීමට හේතුව හඳුනා ගැනීම.

 (ඊ) වන රක්‍ෂිත හෝ වනජීවී රක්‍ෂිතවලින් පරිබාහිරව ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හෝ රජයේ ඉඩම් තක්සේරු කිරීම.

 (උ) නිදහස් කිරීමට ඇති ඉඩම්වල ස්වභාවය සහ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තා කිරීම.

 (ඌ) ගම්මානවල ඉඩම් අහිමි පුද්ගලයන් අඩු කිරීම සඳහා වෙනත් සුදුසු විසඳුම් යෝජනා කිරීම.

4.3 කමිටුව විසින් 2012 ඔක්තෝබර් 15 වැනි දින වාර්තාව ඉදිරිපත් කර තිබිණි. (ඇමුණුම 14/උපලේඛන 04) එකී උපලේඛනය 04හි 4.2.1 (v) ෙඡ්දයේ මුසලි ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 1045ක ප්‍රමාණයක් අවතැන් වූ පවුල් වෙත ලබාදීමට යෝජනා කර තිබිණි. කෙසේ වුවද වන රක්‍ෂිතයෙන් ඉඩම් ලබාදිය නොහැකි බවට නිර්දේශ කිරීම.

4.4 වන සංරක්‍ෂක දෙපාර්තමේන්තුව හෝ වනජීවී දෙපාර්තමේන්තුව හෝ පාලනය නොකරන කැලෑ රජයේ අවශේෂ කැලෑ වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරු යටතේ පාලනය වේ. මෙම අවශේෂ කැලෑ වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, අන්තර් අමාත්‍ය කමිටුවකට යොමුකර යෝජනාව අනුමත වන්නේ නම්,  පරිසර පනත යටතේ පරිසර ඇගයීමකට ලක්කර සුදුසු කොන්දේසි අනුව ඉඩම් ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් වෙත නිදහස් කරනු ලැබේ. (ඇමුණුම - 18) (රක්‍ෂිත වනාන්තර අවශේෂ වනාන්තර යටතට  නොවැටේ)

4.5 2013 අප්‍රේල් 30 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පවත්වා තිබූ අතර, එහිදී ඉඩම් කොමසාරිස් ජනරාල්  වෙත මන්නාරම දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 1080ක් නිදහස් කිරීමට අනුමැතිය ලබාදී තිබිණි.

4.6 'පිච්චායි වන්නිකුලම්' මාර්ගයට යාබදව පිහිටි විලත්තියිකුලම් වන රක්‍ෂිතයේ අක්කර 650ද ඇතුළුව අක්කර 1420ක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට  නිකුත් කිරීම සඳහා දිසා වන නිලධාරීන්ට වන රක්‍ෂක ජනරාල් විසින් උපදෙස් ලබාදී තිබිණි.

4.7 2012 ඔක්තෝබර් 10 දිනැති කර්මාන්න හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධන බළකායේ ලේකම්වරයා හා අමාත්‍යාංශ  නිලධාරීන් සමග රැස්වීමක් පවත්වා ඉඩම් නොමැති බව හඳුනා ගෙන තිබූ පවුල් 1371ක් සඳහා පර්චස් 80 බැගින් අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය විලත්තියිකුලම් වන රක්‍ෂිතයෙන් ලබාගැනීම සඳහා වන රක්‍ෂක ජනරාල් වෙත ඉල්ලීම් කර එම ප්‍රදේශ නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතු බව තීරණය කර තිබිණි. තවද අවට ගම්මානවල ඉඩම් කුඹුරු ගොවිතැනට සුදුසු ඉඩම් බවත්, එම ඉඩම් නිවාස ඉදිකිරීමට නොසුදුසු ඉඩම් බවත් කරුණු දක්වා තිබිණි.

4.8 2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනයක් මගින් මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙට්ටයාර් 2,108ක් වූ විශාලත්වයෙන් යුතු විලත්තියිකුලම් වනාන්තරය 2012 ජුනි 10 වැනි දින සිට රක්‍ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි.

4.9 උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදා දීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ප්‍රාදේශීය ලේකම් මුහුදුබඩ පත්තු වෙත 2012 ජනවාරි 06 වැනි දින ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් දන්වා තිබුණි. එසේ තිබියදී ඉඩම් බෙදා දීම ප්‍රාදේශීය ලේකම් මුසලි විසින් සිදුකර තිබුණි.

4.10 දිසාවන නිලධාරී -මන්නාරම විසින්  වන රක්‍ෂක ජනරාල් වෙත 2012 අගෝස්තු 27 දිනැති වාර්තාවක් එවා තිබූ අතර, එම වාර්තාව අනුව රක්‍ෂිතයෙන් ඉඩම් නිදහස් කිරීම ජනාධිපති කාර්යසාධන බළකාය විසින් ස්ථාපිත කමිටුව විසින්  ප්‍රතික්ෂේප කර තිබිණි.

4.11 2013 ජනවාරි මාසයේ අංක 2013/01 දරන ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍ර‘ලේඛන විධිවිධාන අනුව ඉඩම් නොමැති හෝ ඉඩම් අහිමි පුද්ගලයන්ගේ විස්තර ලබාගැනීම සහ රජයේ ඉඩම්වලට අදාළව පුද්ගලයන් මුහුණ දී ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබූ අතර, එය ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. තවද පීඩාවට පත් පුද්ගලයන්ගේ ඉඩම්වලට අදාළව පවතින ගැටලු විසඳා අවසන් වනතෙක් ඉඩම් නොමැති අයට ඉඩම් බෙදාදීම සිදු නොකළ යුතු බව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබිණි.

4.12 ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් 2015 අප්‍රේල් 02 දින පැවැති සාකච්ඡාවේදී ඉඩම් අවශ්‍යව ඇත්තේ මුල් පදිංචිකරුවන්ට නොව දෙවැනි හා තුන්වැනි පරම්පරාවල අයට බව අනාවරණය වී තිබුණි.

පොදු නිරීක්ෂණ 
විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරයෙන් අක්කර 650 භූමියක් හෙළි පෙහෙළි කිරීමට පදනම් වූ කරුණු සහ ඒ සම්බන්ධ නිරීක්ෂණ

5.1 විලත්තියිකුලම් වනාන්තරය රක්‍ෂිත වනාන්තරයක් වශයෙන් රජය ප්‍රකාශයට පත්කර තිබියදී වන රක්‍ෂක ජනරාල් විසින් එකී රක්‍ෂිතයෙන් අක්කර 650 දිස්ත්‍රික් ලේකම් මන්නාරම වෙත අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර තිබුණි. එසේ නිදහස් කිරීමට වන රක්‍ෂක ජනරාල්ට අධිකාරී බලයක් හෝ නෛතික බලයක් නොතිබිණි.

5.2 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23(ප) වගන්තියේ නියමය අනුව 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරණ ගැසට් පත්‍රයේ පළකර ඇති විධිවිධාන අනුව අක්කර 650 ක් වූ රක්‍ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට ‍පෙර පාරිසරික වාර්තාවක් ලබාගත යුතුව තිබුණි. කෙසේ නමුදු එවැනි වාර්තාවක් ලබාගෙන නොතිබුණි.

5.3 වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2012 ඔක්තෝබර් 05 දින පැවැති රැස්වීමේදී විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙස වන සංරක්‍ෂක ජනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබිණි. එසේ තීරණය කිරීමට උක්ත අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොතිබිණි.

5.4 ප්‍රාදේශිය ලේකම් මුසලි විසින් විගණන කටයුතු සිදුකරන ලද පරිදි 2017 ජනවාරි 04 වැනිදා වනවිට එළිපෙහෙළි කරන ලද අක්කර 650 ක් වූ රක්‍ෂිත වනාන්තරයේ පදිංචිකිරීම් තත්ත්වය පහත පරිදි වේ.

 (අ) පවුල් 160 ක් සඳහා නිවාස ඉදිකිරීම් සම්පූර්ණ කර තිබුණද පදිංචි වී නොමැති පවුල් සංඛ්‍යව 33 ක් වී තිබිණි. අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස සංඛ්‍යව 131 කි. නිවාස සකස් කර නොමැති නමුත් එළි පෙහෙළි  කර තිබූ ඉඩම් කට්ටි ගණන 706 කි. එසේ වුවද 2017 ජනවාරි 23 වැනිදා කරන ලද ස්ථානීය පරීක්ෂාව අනුව ඉදිකර ඇති නිවාස 160 හි 10% පමණ නිවාස ප්‍රමාණයක් පමණක් පදිංචි වී සිටින බව තහවුරු විය.

(ආ) 2013 වර්ෂයේ බෙදා වෙන්කර තිබූ ඉඩම් කට්ටිවල පදිංචි වීම ඉතා අසතුටුදායක තත්ත්වයක තිබූ අතර, ඒ අනුව සත්‍ය වශයෙන්ම ඉඩම් අහිමි වූ අයට බිම් කොටස් ලබාදී තිබුණේද යන්න ප්‍රශ්නකාරි වී තිබිණි.

5.5 ග්‍රාම නිලධාරීන් සමග විගණන නිලධාරීන් 2017 පෙබරවාරි 28, මාර්තු 01සහ 02 දිනයන්හිදී නැවත ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර නැවත පදිංචි කළ අයගේ පවුල් 44ක නිවාස වසා දමා තිබිණි. එයින් නිවාස 41ක දීර්ඝ කාලයක සිට පුද්ගලයන් පදිංචි වී නොතිබිණි.

5.6 නැවත පදිංචිකිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් වුවද,ඉඩම් ලබා දී තිබුණු පුද්ගලයන්ට යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදුව නොතිබුණි.

5.7 ඉඩම්  කට්ටි ලබාදීමේදී එක් අයෙකුට පර්චස් 80ක භූමි ප්‍රමාණයක් වෙන්කර දී තිබූ අතර, එයට පදනමක් නොතිබුණි. මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආසන්නයේ ඇති නානාටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65 ක් පදිංචි කර තිබූ අතර, එක් පවුලකට පර්චස් 20 බැගින් ලබා දී තිබිණි.

5.8 අවතැන් වූවන් පදිංචි කිරීම සඳහා 2013 වර්ෂයේදී මෙම වන රක්‍ෂිතයෙන් වෙන්කර දී තිබූ කොටස් 2017 වනවිටද ඉඩම් කට්ටි 706 ක නිවාස ඉදිකිරීම සිදු කර නොතිබුණි. එනම් මුළු ඉඩම් කට්ටි ප්‍රමාණයෙන් 68%ක ප්‍රමාණයක් විය. (1030/706x 100) ඒ අනුව සැබෑ ජනතා අවශ්‍යතා සඳහා මෙම ඉඩම් වෙන් කරදීම සිදුකර නොතිබුණු බව විගණනයේදී සනාථ විය.

5.9 උතුරු නැගෙනහිර පළාත් පශ්චාත් යුද ගැටුම් සමයේ රජයේ ඉඩම්වලට අදාළව ගැටලු විසඳීමේ කඩිනම් වැඩසටහන නමැති ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අංක 2013/01 දරන 2013 ජනවාරි මාසයේ චක්‍රලේඛනයේ 2.2.1.1 ඡේදයේ සඳහන් පරිදි පීඩාවට පත් පුද්ගලයන්ගේ ඉඩම්වලට අදාළව පවත්නා ගැටලු විසඳා අවසන් වනතෙක් ඉඩම් නොමැති අයට ඉඩම් බෙදාදීම සිදු නොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. එසේ වුවද රක්‍ෂිත වනාන්තරයෙන් ඉඩම් ලබාදීමේදී පටහැණිව කටයුතු කර තිබුණි. 

රජය සතු ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කර ගැනීම සඳහා 2008 මාර්තු 12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉඩම් කච්චේරියේදී පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට ලබාදෙන ඉඩම් ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කළ යුතුය. එසේ තිබියදී එවැනි ඒකකයක් සඳහා පර්චස් 80ක භූමියක් ලබාදී තිබුණි.

5.10 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ සැබෑ ඉඩම් නොමැති තැනැත්තන් හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය ඉඩම් කොමසාරිස් ජනරාල් 2008 අගෝස්තු 20 දිනැති අංක 2008/4 චක්‍රලේඛනයේ නිශ්චිතව සඳහන් කර තිබියදී මෙම ප්‍රශ්නගත ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් උක්ත චක්‍රලේඛන විධිවිධාන අනුගමනය කර නොතිබිණි.

5.11 ඉඩම් කට්ටි 1030ක් ලබා දී ඇති පුද්ගලයන් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්යේ පදිංචි අය බව ඡන්ද හිමි නාමලේඛන අනුව සනාථ වන අතර, ඔවුන්ට එම ප්‍ර‘දේශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණද එහි සත්‍යතාව පරීක්ෂාවට ලක්කර නොතිබුණි.

5.12 වන රක්‍ෂිතයේ පදිංචි කිරීම සඳහා නිවාස හා පාරවල් ඉදිකිරීම ඔමේගා කන්ස්ට්‍රක්‍ෂන් ලිමිටඩ් (Omega ConstructionCompany (pvt)Ltd), අංක 34, කුඩාමයක්කුලම් පාර, පුත්තලමයන ආයතනය විසින් ඉටු කරමින් සිටින අතර රජයේ මූල්‍ය දායකත්වයක් නොමැති බව තහවුරු විය.

5.13 වන රක්‍ෂිතයේ පවුල් පදිංචිය සඳහා වන රක්‍ෂිත හෙළිපෙහෙළි කිරීමේදී ඉවත් කරන දැව සංස්ථාව වෙත බාරදිය යුතුව තිබුණි. කෙසේ වුවද දැව සංස්ථාවට  ලබා දී තිබුණු මුළු දැව ප්‍රමාණය  පලු, බුරුත, ඝන මීටර් 12.5 පමණක් වූ අතර, වන රක්‍ෂිතයේ හෙළි නොකළ ප්‍ර‘දේශ පරීක්ෂා කිරීමේදී එය විය නොහැකි තත්ත්වයක් බව හෙළි විය.

නිර්දේශ
6.1 උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය හේතු කොටගෙන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේදී ඉඩම් අහිමි වූ අයවලුන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට ජාතික ප්‍රතිපත්ති සහ පවතින නීතියට අනුකූල වන පරිදි ප්‍රමාණවත් ඉඩම් කොටසක් ලබාදීමට කටයුතු කිරීම.

6.2 රක්‍ෂිත වනාන්තර හෝ පාරිසරික වටිනාකමක් සහිත ප්‍ර‘දේශ හෙළිපෙහෙළි කර පුද්ගලයන් පදිංචි කිරීම සඳහා යොදා නොගැනීමට කටයුතු කිරීම.

6.3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) ව්‍යවස්ථාවේ නියමයන් පරිදි ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්‍ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතුය. ඒ සඳහා පවතින නෛතික විධිවිධාන ප්‍රමාණවත් නොවන බැවින් අවශ්‍ය විධිවිධාන පැනවීමට කටයුතු කිරීම.

6.4 විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරයේ ඉදිකර තිබූ නිවාසවල පදිංචි වී නොමැති සහ නිවාස ඉදිකර නොමැති බිම් කට්ටි ප්‍රමණය මුළු වෙන්කළ ඉඩම් ප්‍රමාණයෙන් 80෴ක් පමණ වන අතර, ස්ථිර පදිංචි 20% ඉඩම් පදිංචි පවුල්වලට වෙනත් සුදුසු ඉඩම් ලබා දී රක්‍ෂිත වනාන්තරය පෙර පරිදිම පවත්වාගෙන යෑම.

6.5 අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම, යටිතල පහසුකම් සැපයීම හා ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීම රජයේ පූර්ණ මැදිහත්වීමෙන් හා නියාමනය කිරීමෙන් සිදු කළ යුතු වේ. දේශීය හෝ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුකරන මූල්‍ය දායකත්වයන් හා සංවර්ධන  කටයුතු ජාතික ප්‍රතිපත්තියකින් සිදු කිරීම.

නිගමනය 
7.1 2012 මැයි 21 දිනැති අංක 1759/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර‘යෙන් විලත්තියිකුලම් රක්‍ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත්කර ඇති වනාන්තරයෙන් අක්කර 650ක කොටසක් පුද්ගලයන් පදිංචි කිරීම සඳහා වන රක්‍ෂක විසින් නිදහස් කර තිබුණද එය පවතින නීතිය අනුව පටහැණි බවට නිගමනය කරනු ලැබේ.

7.2 රක්‍ෂිත වනාන්තරයේ කොටස් හෙළි පෙහෙළි කිරීමෙන් සිදුවිය හැකි පරිසර හානිය සම්බබන්ධයෙන් පවතින නීතියට අනුව පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයීමක් (environmental impact assessment)  කළ යුතු වුවද, එසේ සිදු නොකර තිබූ හෙයින් වන රක්‍ෂිතයට සිදු වූ හා ඉදිරියේදී සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර නොතිබූ බව නිගමනය කරනු ලැබේ.

7.3 රක්‍ෂිත වනාන්තරය තුළ ඉදිකළ නිවාසවල පදිංචි කිරීමේ තත්ත්වය සහ පවුල් සඳහා වෙන්කළ බිම් කට්ටිවල දීර්ඝකාලීනව නිවාස ඉදි නොකිරීම සැලකිල්ලට ගැනීමේදී ඉඩම් නොමැති, අවතැන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබූ බවට නිගමනය කරනු ලැබේ.

7.4 උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ තම ඉඩම් අහිමි පවුල්වලට පෙර පරිදි මුල් ඉඩම් ලබාදීම ජනාධිපති කාර්යසාධන බළකායේ ප්‍රධාන අරමුණ වුවද එයට පටහැණිව ඉඩම් අහිමි නොවූ, එහෙත් ඔවුන්ගේ දෙවැනි හා තුන්වැනි පරම්පරාවල පවුල්වලට ප්‍රමාණවත් ඉඩම් නොමැති බවට කරුණු දක්වා මෙම වන රක්‍ෂිතයෙන් ඉඩම් ලබාදීම එකී අරමුණට පටහැණි බවට නිගමනය කරනු ලැබේ.

7.5 මෙම වාර්තා විගණකාධිපති සතු බලතල, සම්පත් සහ කාලය යන විෂය සීමා තුළ සිදුකරන ලද හෙයින් එහි විෂය පථය ඉක්මවා ගොස් විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීතිවිරෝධී  හෝ සාපරාධී කටයුතු සිදුවී ඇත්දැයි යන්න මගේ පරීක්ෂාවට ලක් නොකෙරුණි. එබැවින් එවැනි පරීක්ෂාවක් කළ යුතු යැයි හැඟී යන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ ආයතනයන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිගමනය කරනු ලැබේ. 

Powered by Blogger.