දළපූට්‌ටුවා, වනජීවී ලේකම් හා අධ්‍යක්‍ෂ ජනරාල් දොට්‌ට දමයි?


ගල්ගමුවේ දළපූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සහ පිටරටින් නීති විරෝධීව ගෙනෙන ලද කුරුල්ලන් රැසක්‌ නිසි ක්‍රමවේදයකින් තොරව සිය ඥතියකුට ලබාදීම යන චෝදනා මත තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා සහ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරුවලින් නෙරපීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


විදෙස්‌ රටකින් නීති විරෝධීව ගෙන්වන ලද කුරුල්ලන් නිසි අවසරයකින් තොරව හම්බන්තොට සෆාරි උද්‍යානයට ලබාදීමට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කොට ඇති බව මේ වන විට විමර්ශනයකින් හෙළිවී තිබේ. 

උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඥතියකු බවද අනාවරණය වී ඇත.

මෙම කුරුල්ලන් සෆාරි උද්‍යානයට භාරදීම සම්බන්ධව වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවා නොදැන සිට ඇත. ඇමැතිවරයා මේ සම්බන්ධව දැනගැනීමෙන් පසු විශේෂ විමර්ශනයක්‌ පවත්වා ඇති අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා නිසි අවසරයකින් තොරව කටයුතු කොට ඇතැයි හෙළිවී තිබේ.

ඊට අමතරව ගල්ගමුවේ දළ පූට්‌ටුවාගේ ඝාතනය සම්බන්ධව ජනමාධ්‍යයෙන් කරුණු හෙළිකරනතුරු වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම වන ජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද දැනුවත්ව නොසිටි බව අනාවරණය වී ඇත.

වත්මන් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියකු පත්කිරීමටත් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ද තනතුරෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


මාරයෝ පෝරකයට යවන්න - සජිත් 


වනජීවි ආඥ පනත වෙනස්‌ කර හෝ 'දළ පූට්‌ටුවා' ඝාතනය කළ පුද්ගලයින්ට මරණීය දණ්‌ඩනය ලබා දෙන ලෙස තමා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් ඉල්ලා සිටින බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (06 වැනිදා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය. 

 දැන් තිබෙන නීති රීතිවලට අනුව අලි ඇතුන් මරණ පුද්ගලයන්ට හිමිවන්නේ කෙටි සිරදඬුවමක්‌ හා පොඩි දඩයක්‌. ඒ නිසා යළි නිදහස්‌වී නැවත එම වරදම කිරීමට ජාවාරම්කරුවන් පෙළෙඹෙනවා. 

 වනජීවි ආඥා පනත වෙනස්‌ කරන ලෙස මා මීට පෙර ඊට අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා. එවිට ඔවුන්ගේ පිළිතුර වූයේ පවතින නීති රීති වෙනස්‌ කළහොත් ඒවා තවත් ලිහිල් කරන ලෙස මහජන නියෝජිතයන් ඉල්ලා සිටින බවයි.

 මේ නිසා ජාවාරම්කරුවන්ට බිලිවෙන අලි ඇතුන් බේරාගැනීමට දළපූට්‌ටුවාගේ ඝාතකයින්ට මරණීය දණ්‌ඩනය ලබාදී ඉදිරියට අලි ඇතුන් මරණයෙන් මුදා ගැනීමට රජය පියවර ගත යුතුයි.


 එසේම ඉතා ඉක්‌මණින් ශ්‍රී ලංකාවේ අලි සංගණනයක්‌ හා ඇත් ආරක්‌ෂක බළකායක්‌ පිහිටුවීමට පියවර ද ගත යුතුයි.

Powered by Blogger.