කෙහෙළිය රඹුක්වැල්ල නැවතත් එජාපයට.


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීම මේ වන විට ස්ථිර වී තිබේ. 2018 ජනවාරි දෙවන සතියේදී ඔහු එජාපයට එක්වීමට නියමිතව ඇත. 

කෙහෙළිය රඹුක්වැල්ලගේ නැවත පැමිණීම සම්බන්ධව එජාප නායකත්වයේ උපදෙස් පරිදි ඔහුත් සමඟ සාකච්චා කරන ලද්දේ එජාප සභාපති මලික් සමරවික්‍රම විසිනි. එසේම කෙහෙළියගේ පුනරාගමනයට ප්‍රධාන බාධාව වී පැවති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ විරෝධය සමනය කර ගැනීමට ද මලික් සමරවික්‍රම සමත් වී තිබේ. ඒ සඳහා ඊළඟ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවේ අංක 1 දරණ ස්ථානය ලක්ෂ්මන් කිරිඇල්ලට ලබා දීමටත් ඔහුගේ දියණිය වන චාමි කිරිඇල්ලට එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා දීමටත් පක්ෂය විසින් පොරොන්දු වී ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල නැවත එජාපයට එක්වීමට මුලින්ම සූදානම් වූයේ 2015 ජනවාරි 10 වන දිනය. එහෙත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විවිධ හේතූන් මත එය කල් ඇදෙන්නට සැලැස්වීය. පසුකාලීනව මහින්ද රාජපක්ෂ සමඟ එක්වුවද කෙහෙළිය රඹුක්වැල්ල යනු ශක්තිමත් එක්සත් ජාතික පාක්ෂිකයෙකි.

එසේම තමන් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු ද එජාපයට කැඳවාගෙන එන බවට කෙහෙළිය රඹුක්වැල්ල එජාප සභාපතිවරයාට පොරොන්දු වී තිබේ.

මේ අතර මහනුවර එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ මේ හරහා ලක්ෂ්මන් කිරිඇල්ලටත් ටිරෝන් ප්‍රනාන්දුට සිදු වූ දෙයම සිදුවනු ඇති බවය. මීට පෙර වතාවක ටිරෝන් ප්‍රනාන්දුට ද එජාප ජාතික ලැයිස්තුවේ අංක 1 නියෝජනය ලබා දෙන බව පොරොන්දු වී තිබුණ ද අවසානයේ ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය.

Powered by Blogger.