කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 'කර්නල්' සිසුවකු බලෙන් අස් කරයි. - Info Sri Lanka News | Sinhala

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 'කර්නල්' සිසුවකු බලෙන් අස් කරයි.


කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පති ලුතිනන් කර්නල් එච්.එම්.එන්.හේරත් විසින් අත්තනෝමතික ලෙස උසස් පෙළ සිසුවකු පාසලෙන් ඉවත් කර ඇත.

ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවාට අසත්‍ය චෝදනාවක් එල්ල කර, කිසිදු විනය පරීක්ෂණයක් හෝ පෙර දැනුවත් කිරීමක් නොකර හදිසියේම මව්පියන් කැඳවා ඔහු ව පාසලෙන් ඉවත් කරගන්නා ලෙස දන්වා තිබේ.

එහෙත් මව්පියන් විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පසු විදුහල්පතිවරයා බලහත්කාරයෙන්ම අදාළ සිසුවා පාසලින් ඉවත් කිරීමට අදාළ සියලු ලිපිගොනු ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පති ලුතිනන් කර්නල් එච්.එම්.එන්.හේරත් ඔහුගේ ජංගම දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, එය ව්‍යර්ථ විය.

අස් කිරීමේ ක්‍රමවේදය බල්ලට දමයි :

අදාළ සිසුවා පාසලේ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවත්, එම නිසා ඔහු පාසලේ රඳවා ගත නොහැකි බවත් මුලින් පවසා ඇත්තේ පාසලේ උසස් පෙළ විද්‍යා අංශ භාර ගුරුවරයා විසිනි.

ඉන්පසු විදුහල්පතිවරයා හදිසියේම ඔහුව මෙසේ ඉවත් කිරීම පිළිබඳ බරපතල සැකයක් මතු වී තිබේ.

සාමාන්‍යෙයන් සිසුවකු පාසලෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඇත. ඔහු විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇත්නම් මුලින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතුය.

අවස්ථා තුනකදී ඔහුට සහ මව්පියන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය යුතුය. ඉන්පසුව විනය පරීක්ෂණයක් පවත්වා
අදාළ සිසුවා වැරදිකරුවකු කළ යුතුය.

සිසුවාගේ වයස අවුරුදු 18 ට වැඩි නම්, ඔහු කැඳවා අදාළ ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතුය.

මේ සියලු ක්‍රමවේද පසෙකට දමා අදාළ සිසුවාගේ මව්පියන් කැඳවා බලහත්කාරයෙන් එම සිසුවා ඉවත් කර තිබේ.

පාගමනේ විරෝධය :

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා පාසලේ ආදි සිසු එකමුතුව නමින් හැඳින්වෙන කණ්ඩායමක් විසින් පාගමනක් සංවිධානය කර තිබූ අතර, ඊට මේ සිසුවාද සහභාගි වී තිබේ.

පාසලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ පාගමනට එරෙහිව විදුහල්පතිවරයා කටයුතු කළ බවයි.

අවසාන මොහොතේදී ඔහු මේ පාගමන නතරකිරීම සඳහා අධිකරණයෙන් වාරණයක් ලබා ගැනීමට ද උත්සාහ දරා තිබිණි.

මෙසේ නතරකිරීමට උත්සාහ කළ පාගමනට සම්බන්ධ වූ සිසුන්ට අත්තනෝමතික ලෙස චෝදනා එල්ල කිරීමට විදුහල්පතිවරයා කටයුතු කරන බව තහවුරු වෙමින් තිබේ.

ක්‍රිකට් පුහුණුකරුත් එළියට :

ඊට තවත් උදාහරණයක් වන්නේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ, අදාළ පාගමනේ සංවිධාන කටයුතු වලට මැදිහත් වූ ආදිශිෂ්‍යයා වහාම ක්‍රියාත්මක වන පරිදි පුහුණුකරු තනතුරින් ඉවත් කිරීම ය.

මේ පාගමන මුලින් සංවිධානය කරන ලද්දේ පාසලේ ආදිශිෂ්‍ය සංගමය මගිනි.

එහෙත් පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුම් වාර්තා සම්බන්ධයෙන් සහ පාසල් සිසුන් යොදාගනිමින් අවිධිමත් පාගමනක් පැවැත්වීමේ උත්සාහය පිළිබදව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් විසින් පාගමන නතර කිරීමට නියෝග කර තිබිණි.

විදුහල්පති පුටුව රැකගනී:

ඉන්පසු අදාළ සංවිධායකයන් ආදි සිසු එකමුතුව නමින් මේ පාගමන පැවැත්වූ අතර, ඊට මුලින් සහයෝගය දැක්වූ විදුහල්පතිවරයා, පසුව පාගමන නතර කිරීමට උත්සාහ දරා තිබිණි.

ඊට හේතු වී ඇත්තේ ඇමැතිවරයාගේ නියෝග වලට පිටින් ගොස් වැඩ ආවරණය කරන විදුහල්පති තනතුර නැති කර නොගන්නා ලෙස අමාත්‍යංශය පාර්ශ්වයෙන් කරන ලද අනතුරු ඇගවීමක් බව දැනගන්නට ඇත.

විදුහල්පතිට ගැලවිය නොහැක:

ආදිශිෂ්‍ය සංගමයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ද විගණන වාර්තාවක් හරහා චෝදනා එල්ල වී තිබෙන තත්ත්වයක් තුළ, නිල බලයෙන් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වන විදුහල්පතිවරයා එම මුදල් අවභාවිත කිරීමේ චෝදනා වලින් ගැලවෙන්නට උත්සාහ කරමින් සිටී.

එය ආදිශිෂ්‍ය සංගමයේ පහළ නිලයන් මත දමා, තමන්ගේ තනතුර රැකගැනීමට ඔහු උත්සාහ කළද, සභාපතිවරයාට එයින් ගැලවිය නොහැකිය.

අවසාන වශයෙන් ලියන්නට ඇත්තේ අදාළ පාගමන සම්බන්ධයෙන් විවේචන ඇතත්, පාසලේ කටයුතු සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා කිරීමට හෝ අත්තනෝමතික ලෙස තීරණ ගැනීමට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරයාට කිසිදු අයිතියක් නැති බවයි.

යකා නටන්නේ කාගේ හයියෙන් ද?

චෝදනා රැසක් එල්ල වී තිබියදීත් අදාළ විදුහල්පතිවරයා මෙසේ යකා නටන්නේ අධ්‍යාපන ඇමැතිවරයාගේ හයියෙන් ද?

අධ්‍යාපන ඇමැතිවරයාගේ වගකීම තමන් නිදොස් නම්, පාසලෙන් ඉවත් කළ සිසුවාගේ සහ අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ඇමැතිවරයා පෙනී සිටිය යුතුය.

විදුහල්පතිවරයාට යකා නටන්නට ඉඩ නොදිය යුතුය.

Share on Google Plus