අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා. - Info Sri Lanka News | Sinhala

අය වැය: 'මැදමුලන බද්ද' සහ තවත් කතා.


ආණ්ඩුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද (මැදමුලන බද්ද) පැනවූයේ සතුටින් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ 2018 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

2018 වසර සඳහා වන අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, බැංකු විසින් සිදුකරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට සත විස්සක අනුපාතයක් අනුව විශේෂ බද්දක් පැනවීමට යෝජනා කරන බවය.

එය ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද ලෙස හැඳින්වූ මුදල් අමාත්‍යවරයා, ඉදිරි වසර තුන ඇතුළත ගෙවීමට නියමිත රුපියල් බිලියන 7,000ක ණය මුදල ගෙවීමට එය යොදාගන්නා බවත් කියා සිටියේය.

"මේක සතුටින් දාපු බද්දක්ම නෙවෙයි. හුඟක් වාද විවාද කළා අපි. මේ විශේෂ බද්ද පාරිභෝගිකයන්ගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒක බැංකුව ගෙවන්න ඕන," රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

සිය අයවැය කතාවේදී "මැදමුලන බද්ද" ලෙස ද මුදල් අමාත්‍යවරයා විග්‍රහ කළ මෙම බද්ද මගින් 2018 වසරේ දී රුපියල් මිලියන 20,000ක් ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

අය වැයට නීතීඥ සංගමයෙන් පැසසුම් !

ඉතා පැරණි ඇතැම් නීති සංශෝධනය කිරීමට ඊයේ (09) ඉදිරිපත් කෙරුණු අයවැයෙන් කළ යෝජනාව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පැසසුමට ලක්වේ.

කෙසේ වෙතත් එවැනි සංශෝධන හදිසියේ සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පැවසිය.

පැරණි නීති කාලානුරූපීව සංශෝධනය කරනවාත් සමග නීති කෙටුම්පත් මණ්ඩලයට අවශ්‍ය පරිවර්ථකයින් බඳවා ගන්නා ලෙසද ඔහු යෝජනා කර සිටියි.

විශේෂ අධිකරන අවශ්‍ය නැහැ :

නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා ඇතැම් කරුණු සම්බන්යෙන් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට ද ඊයේ ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා කෙරින.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවසුවේ විශේෂ අධිකරන අවශ්‍ය නොවන බවයි.

පවතින අධිකරණ මගින් කාර්යක්ෂමව එය කළ හැකි බවද ඔහු කියා සිටියේය.

නඩු කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමට ගතහැකි තවත් පියවර කිහිපයක් ද මෙහිදී ඔහු යෝජනා කළේය.

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක්:

සේවකයින්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම, පදිංචි ස්ථානයේ සිට ආසන්නසේවා ස්ථානයක රාජකාරි ලබා දීම, හා විනිසුරුවන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ, ඇතැම් අධිකරණයක ඇප හිමි වද්දී ඇතැම් අධිකරණයකදී එම චෝදනාවටම ලක්වන තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගතකරනා බවයි.

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම වැනි අධිකරණවල තාක්ෂණික පහසුකම් වැඩි කිරීමට ඉදිරිපත් වූ යෝජනාව ද යහපත් එකක් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ජාතික සම්පත් විකිණීම මෙවර අය-වැයේ සඳහන් වී නෑ

2018 අය-වැය ලේඛනයේ නොතිබූ බොහෝ විනාශකාරී ක්‍රියාවන් ඉන් පිටත සිදුවීමට ඉඩ පවතින බව ඉදිරිපත් කළ අයවැයෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ අය වැය යෝජනා ගැන කියයි.

මන්ත්‍රිවරයා පවසන්නේ මෙවර අය-වැය හරහා දැනට සිදුවන ජාතික සම්පත් අලෙවිකරණය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවයි.

1978 ආරම්භ කරන ලද විනාශකාරී ආරම්භක ගමන තවදුරටත් පවත්වාගෙන යෑම හා වේගවත් කිරීම අරමුණු කොට ඉදිරිපත් කරනු ලද්දක් බවද දිසානායක මහතා පවසයි.


එමෙන්ම කෝටි එක් ලක්ෂ අසූ නවදහස් පන්සියයක නව ණයක් ලබා ගැනීමට මේ හරහා සිදුවන අතර එය තවදුරටත් මෙරට ණය අර්බුදයේ ගිලීයෑමක් බවත් පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ණය ගෙවීම වෙනුවෙන් නව ගෙවීමේ බද්දක් හඳුන්වා දී තිබෙන්නේ බැංකු ගනුදෙනු හරහා පමණක් වුවද එය අනෙකුත් ක්ෂේත්‍ර හරහාද පැතිරීමට හේතුවන බවයි.

අයවැයේ කිසිදෙයක් තේරුණේ නැහැ - කුමාර වෙල්ගම

යවැයේ සඳහන් කිසි දෙයෙක් තමන්ට තේරුණේ නැතියි ඒකාබද්ධ විපක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

අයවැය නිමා වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

"කිසිදෙයක් තේරුණේ නැහැ. කවදාවත්ම මේ වගේ අයවැයක් ඇහුණේ නැහැ. ඒ හිතේ අමාරුවට කාලා, තේ බීලා ආවා." 

මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් අයවැයක් - පා.ම. උදය ගම්මන්පිල

"මුහුදු කූඩැල්ලාට, උණහපුළුවන්ට සහන ලබා දුන්නත් මිනිසුන්ට සහන දෙන්න අපොහොසත් වෙලා තියෙන අයවැයක්. අලි අනාථාගාරය පුළුල් කරලා පහසුකම් වැඩිදියුණු කරන්න අයවැය යෝජනාව හොඳ දෙයක්. එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝම එතකොට අලි අනාථාගාරයට දක්කන්න පුළුවන්." 

කාටත් පේන විදියට හොඳ අයවැයක් - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

"අයවැය මගින් ඉලෙක්ට්‍රික් වාහන මිල අඩුකරලා තියෙනවා. අධ්‍යාපනයටත් මුදල් වෙන්කරලා තියෙනවා. විශේෂයෙන්ම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරන්න මුදල් වෙන්කරලා තියෙනවා. කාටත් පේන විදියට හොඳ අයවැයක්."

හැම සමාජ තීරුවක් ගැනම හොඳ අවබෝධයකින් ඉදිරිපත් කළ අයවැයක් - අමාත්‍ය විජිත් විජයමුණු සොයිසා

"මංගල අයවැයත් රටේ දේශපාලන, සමාජ, ආර්ථික, පර්වර්තනයක් සඳහා වූ වැඩපිළිවෙළකට අත්පොත තැබූ අයවැයක්. හැම සමාජ තීරුවක් ගැනම හොඳ අවබෝධයකින් ඉදිරිපත් කළ අයවැයක්."

සෑම ක්‍ෂේත්‍රයක් ගැනම සොයාබලා තියෙන අයවැයක් - පා.ම. එස්.එම්. මරික්කාර්

"රට ඇත්තටම දියුණු කරන්න ඕන මාර්ගය තේරුම් ගත්ත අයවැයක්. ඉතිහාසය ගත්තාම අපට දියුණුවීම මගහැරුණේ දේශපාලනය මත පදනම් වුණු අයවැය නිසා. මේ අයවැය තුළින් රටේ සෑම ක්‍ෂේත්‍රයක් ගැනම සොයාබලා තියෙනවා." 

රටේ අනාගතය ගැන හිතලා ඉදිරිපත් කරපු අයවැයක් - රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන

"රටේ අනාගතය ගැන හිතලා ඉදිරිපත්කරපු අයවැයක්. රටේ තරුණයන්ගේ අනාගතය ගැන වගේම, රටේ සංවර්ධනය, පරිසරය ගැනත් හිතපු අයවැයක්. විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ ඉතා විශාල මුදලක් වෙන්කරලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට ඒ හරහා ප්‍රමුඛත්වය දීලා තියෙනවා කියලා පේනවා. අයවැය ගැන සතුටුයි."

මූල්‍ය අරමුදලේ සිරකරුවෙකු ලෙස මුදල් ඇමතිවරයාට මේ අයවැය සකසන්න වෙලා - පා.ම.බන්දුල ගුණවර්ධන

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිරකරුවෙකු විදියට තමයි මුදල් ඇමතිවරයාට මේ අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ.

ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකාර්යක්‍ෂම කරලා 2015,2016,2017 කියන අවුරුදු තුනම රට විනාශ කළා. නොන්ඩි ගහන අශ්වයෙක් තමයි එතුමට හම්බවුණේ. ජොකියා වෙනස් කළා කියලා වෙන කරන්න දෙයක් නැහැ.

රටේ ජනතාව මත බදුබර පැටවෙන, මිල පීඩනය උග්‍රවෙන, තිබෙන ප්‍රශ්නවලට විසඳුමක් නොදෙන, නමුත් ආර්ථික නීතිරීති සම්පූර්ණයෙන් ලිහිල් කරලා විදේශ ආයෝජන යනාදිය තුළින් රට දියුණු වෙයි කියලා හිතන අයවැයක්."

අයවැය පරතරය අඩු කරලා තියෙනවා - අමාත්‍ය සරත් අමුණුගම

"අයවැය පරතරය අඩුකරලා තියෙනවා. සංවර්ධනයට වෙන්කරන මුදල වැඩිකරලා තියෙනවා. ඒ නිසා සර්ව ආර්ථික ප්‍රශ්නවලට හොඳ විසඳුමක් දීලා තියෙනවා. කොච්චර හොඳ වුණත් ඒ දේ ක්‍රියාත්මක කරන්න ඕනෑ."

දෙන්න පුළුවන් සහනත් දීලා තියෙනවා -  අමාත්‍ය පාඨලී චම්පික රණවක

"සමස්තයක් විදියට ආණ්ඩුව ආවට පස්සේ 2014ට සාපේක්‍ෂව  අපේ ආණ්ඩුවේ ආදායම් දෙගුණ කරගන්න අද අපට හැකිවෙලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධනාත්මක කරන්නත් හැකිවෙලා තියෙනවා.ඒ වගේම දෛනික වියදම් අපේ ආදායම්වලින් පියවා ගන්නත් අපට අවස්ථාව උදාවෙලා. ඒක  ලොකු ජයග්‍රහණයක්.

ඉදිරි වසර දෙකම රටටඉතා අමාරු කාලයක්. මොකද බිලියන 1900 බැගින් අපට ණය ගෙවන්න තියෙනවා. ඒ නිසා අලුත් ප්‍රතිපත්තියක් එක්ක මුදල් අමාත්‍යතුමා මේ නීල හරිත ආර්ථිකය ඉදිරිපත් කරලා තියෙනවා. දෙන්න පුළුවන් සහනත් දීලා තියෙනවා. විශේෂයෙන්ම නාගරික සංවර්ධනය, දුගී ජනතාවගේ නිවාස පිළිබඳ අතිවිශාල මුදලක් වෙන්කරලා තියෙනවා"

රට දිනවන, ගෙවල් හදන, ප්‍රගතිශීලී අයවැයක් - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

"මංගල සමරවීර මහත්තයාගේ මංගල අයවැය රට දිනවන, ගෙවල් හදන, සෞඛ්‍යයක්‍ෂේත්‍රය ශක්තිමත් කරවන, තරුණයන්ට රැකියා ලබාදෙන ප්‍රගතිශීලී අයවැයක්. විශේෂයෙන්ම පොඩි මිනිහා ගැන හිතලා පොළොවේ පය ගහලා ජීවත් වෙන ජනතාව ශක්තිමත්ව කරන්න යෙදුණු අයවැයක්."

කලබලයක් නැති පැටලීමක් නැති අයවැයක් - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු


"මේ අයවැය සරලයි. මේ අයවැය කලබලයක් නැති පැටලීමක් නැති අයවැයක්. ජනතාවට හරි බලාපොරොත්තුවක් දීපු මේ අයවැය සරලවම ක්‍රියාත්මක කරන්න හැකි වේවි කියලත් විශ්වාස කරනවා."

Share on Google Plus