නීතිපතිගේ ඉල්ලීම ඉවතට - ගැසට්‌ටුවට එරෙහි පෙත්සම අද නැහැ.


පාලන ආයතනවල ඡන්ද කොට්‌ඨාස සහ සභිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අදාළව පළාත් පාලන ඇමැතිවරයා නිකුත් කළ ගැසට්‌ නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම අද (30 වැනිදා) විවෘත අධිකරණය හමුවේ කැඳවන්නැයි නීතිපතිවරයා මෝසමකින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. 

ඒ අනුව ස්‌ථිර වශයෙන්ම එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවන්නේ නැතැයි රෙජිස්‌ට්‍රාර් සරත් කුමාර පින්නදූව මහතා ඊයේ (29 දා) පැවැසීය.

අභියාචනාධිකරණය විසින් කලින් නියම කර ගත් පරිදි දෙසැම්බර් 04 වැනිදා පෙත්සම කැඳවන බව ද ඔහු කීවේය.

නීතිපති ගොනුකළ මෝසමෙන් ඉල්ලා සිටියේ පෙත්සම අද කැඳවන ලෙසයි.

පළාත් පාලන අමාත්‍යවරයා විසින් 2017 පෙබරවාරි 17 දා නිකුත් කළ එකී ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය හේතු කොට ගෙන ඡන්ද විමසීම් පැවැත්වීම තවදුරටත් කල් යා හැකි බැවින් ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් මෙය හදිසි අවශ්‍යතාවක්‌ ලෙස සලකා පෙත්සම 30 දා කැඳවන ලෙස නීතිපතිවරයා මෝසමෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සමෙන් කර තිබූ ඉල්ලීම් ගැන සලකා බලා එකී ගැසට්‌ නිවේදනය අත්හිටුවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති එල්. ටී. බී. දෙහිදෙනිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන් විසිනි.

ඡන්දදායකයන් 06 දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳව කරුණු තහවුරු කළේ අධිනීතිඥ ඒ. එම්. ශහීඩ් මහතායි.

ඔහු දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ පසු ගැසට්‌ නිවේදනය අත්හිටුවීම නියෝග කරමින් සඳහන් කළේ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට තරම් ප්‍රබල නඩුවක්‌ පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති බවයි.

පෙත්සම විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වූ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා සහ ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාට ද ලබන 04 දාට උසාවියේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරු මඬුල්ල විසින් නොතීසි නිකුත් කළේය.

Powered by Blogger.