'සෙල්ලංද කොල්ලෝ මං අල්ලපු වැටේ' - මෛත්‍රීගෙන් කිම් ජොං උන් ට කෝල් එකක්.


උතුරු කොරියාවේ මහා බලධාරී කිම් ජොං උන් තරුණයාගේ සැටලයිට් පෝන් එක උදේ ඉදල එක දිගට නාද වෙනවා. බැරිම තැන ලොක්කාගේ ගාඩ් එකේ එකෙක් ‘ රණවිරු දේශප්‍රේමි භූමිපුත්‍ර කිම් ජොං උන් අධිරාජයාණන්වහන්සේගේ ආරක්ෂක අංශය අමතනවා.......... කරුණාකර අමතන්න.... ඔබ කවුද කියන්න ' කියමින් කෝල් එක ආන්සර් කළා. 

‘ කෝ ලොක්කා නැද්ද? එයාට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න. ඉන්දියාවට පල්ලෙහා තියෙන රටේ එයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කතා කරනවා කියන්න' කෝල් එක දුන්නු පුද්ගලයා පවසා සිටියා. ගාඩ් එකේ හාදයා කකුල් එහාට මෙහාට කරමින් මාච් පාස්ට් කරගෙන ෆෝන් එකත් අරන් බොස් ළඟට ගියා. ගාඩ් දිහා තරහෙන් බලපු කිම් ජොං ‘ මං තමුසෙලාට කියල තියෙනවා නේද මිසයිල් ගැහුවයින් පස්සෙ එන කෝල් මට කනෙක්ට් කරන්න එපා කියල.

‘ නෑ සර්..... මේ කෝල් එක ඇමරිකාවෙන්වත් රුසියාවෙන්වත් චීනෙන්වත් නෙමෙයි. ඉන්දියාවට පල්ලෙහා තියෙන රටකින් කියල කිව්වා'

කිම් ජොං උං අකමැත්තෙන්වගේ ෆෝන් එක කනේ තියාගෙන

‘හිස් එක්සලන්සි කිම් ජෝං උන් කතා කරනවා....... ' කියද්දිම ෆෝන් එක එහා පැත්තෙ හිටපු හාදයත් මොනවදෝ කිව්වා. කිම් ජොං උන්ගෙ මූනේ මලක් පිපුණා වගේ

‘අප්පද බොල ............. පොලොන්නරුවෙ සිරිමාමා. මේ සවුත් කොරියන් නම්බර් එකක් නේද? මොකද දැන් සවුත් කොරියාව ලංකාව අරගෙනද? කුමාර මාමා ටෙලිකොම් එක සවුත් කොරියාවට මෙච්චර විජහට දුන්නද? ' කිම් ජොං උන්ගෙන් ප්‍රශ්න වැලයි.

‘නෑ නෑ .. කොල්ලෝ මං ඊයෙ සවුත් කොරියා ආවා. උඹත් හරි පුතයා තමයි. මං එනකම් ඉදලම මිසයිල් කෙලින්න පටන් ගත්තා නේද? 

‘අප්පද බොල කියන්ඩෙපෑ ..... කවුරු දන්නවද? නැන්දිත් ආවාද? '

‘නෑ නෑ කොල්ලෝ ..... මායි අමුනෙ අය්යයි අපේ දයායි කට්ටිය තමයි ආවෙ'

‘ දාං මල්ලි ආවෙවත් නැද්ද? අපරාදෙ චතූ අක්කිව හරි එක්ක එන්ඩ තිබ්බා'

‘ චතූ අක්කි මේ දවස්වල හරි බිසී. දිගටම පොත් ලියනවා. අලුත්ම පොත ‘ බය නැති අගමැති'

‘ ෂා .. මරුනෙ. අක්කිට කියල මං ගැනත් පොතක් ලියා ගන්ඩ බැරි වෙයිද? ‘ රොකට් මල්ලී' කියල'

‘ ලියවන්ඩ නම් බැරිවෙන එකක් නෑ. පොත ප්‍රින්ට් එකෙන් එනකම්වත් උඹ ඉදීද කියන එකයි ප්‍රශ්නෙ'

‘ ඔන්න ඔන්න සිරා මාමි මට නක්කලේ දානවා. ඕගොල්ලන්ගෙ යහපාලන ගවර්මන්ට් එකට වඩා දවසක් හරි මම ඉන්නවා '

‘ උඹ ඔය ගහන මිසයිල ගැහිල්ලට මට ඒක ෂුවර් නෑ. උඹ නිකං ඉල්ලං කනවා වගේ වැඩනෙ කරන්‍නෙ'

‘මාමිට ඉන්ටර්නැෂනල් පොලිටික්ස් තේරේන්නෙ නෑ මාමෙ. මෙහෙම ඉදල හිටල හරි මිසයිලයක් දෙකක් ගැහුවෙ නැත්තන් මුං මගේ එකවුන්ට් එකට සල්ලි දාන්නෑ. එතකොට මටත් වෙන්නෙ රටේ අනිත් එවුන්ට වගේ පනුවො කන්ඩ. දැන් බලන්ඩ ඊයෙ හැන්දෑවෙ එක මිසයිල් එකයි ගැහුවෙ අද උදේ දෙගොල්ලොම තරඟෙට සල්ලි දාලා තිබ්බෙ. '

‘ අප්පද බොල කවුද බං එහෙම සල්ලි දාන එවුං? '

‘මාමට ඕක තේරුං ගන්ඩ මොලයක් නැද්ද? මාමිගෙ ෆෝන් එක සවුත් කොරියාවෙ එවුං ටැප් කරලා තියෙන්නෙ. මාමි ලංකාවට ගියහම කෝල් එකක් ගන්න එතකොට මං කියල දෙන්නම්'  

‘ වැඩක් වෙන්නෑ බං කොල්ලො. මගේ එහේ ටෙලිෆෝන් එකත් ටැප් කරලා තියෙන්නෙ'

‘ කවුද මාමෙ CIA එකෙන්ද?'

‘පිස්සුද බං මොන CIA ද ? අපේ පූජිතයා '

‘ ඒ කියන්නෙ මාමි පත් කරපු පොලිස්පතිද?  මෙහෙ එහෙම කරලා අහුවුනානම් ඒක තමයි උගෙ ජීවිතේ අවසාන දවස'

‘ ඔන්න ඕකනෙ කියන්නෙ කොල්ලෝ උඹ ඉන්ටර්නැෂනල් පොලිටික්ස් දැන ගත්තට ලෝකල් පොලිටික්ස් දන්නැහැයි කියල'

‘ මොකක්ද මාමි ඒකෙ තියෙන ලෝකල් පොලිටික්ස් එක? ඒවගේ එවුන්ව දඩුකදේ ගහන්නැතුව'

‘පිස්සුද කොල්ලෝ .. පූජිත අපට කොච්චර උදව් කරන මිනිහෙක්ද? ඌ පිස්සු කෙලින්ඩ කෙලින්ඩ මිනිස්සු ඒ ගැන කථාවෙනවා මිසක්කා අපි කෙලින පිස්සු හයිලයිට් වෙන්නෑ'

‘ මාමිගෙ මොලේ තමයි මොලේ.... ඒකත් හරියට මරා මාමිට නොමිනේෂන් දුන්නා වගේ නේද?'

‘ හරි හරි ඒවා පොඩි එවුංට ඕන් නෑ. මට කියපං උඹ මිසයිල් ගහපුවහම උ‍ඹේ එකවුන්ට් එකට සල්ලි දාන්නෙ කවුද කියල? අපේ රට ගොඩ ගන්න නම් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් හරි පටන් ගන්න වෙනවා බං කොල්ලො. මලාට ඉන්වෙස්ටර් කෙනෙක් එන්නෙ නෑනෙ බං'

‘ ඕවා සිම්පල් වැඩ මාමෙ. සද්දෙ විතරයි ඕනෙ'

‘ ඔච්චර තෙපර බබා ඉන්නෙ නැතුව කෙලින්ම ගහල දාපංකො මිසයිලයක් වයිට් හවුස් එකටම'

‘මාමි හිතුවද මට පිස්සු කියල ? මාමි ගෙ ඇඩ්වයිස් ගත්තොත් මගේ ඉන්කම් එක බිංදුවට බහී. මම ලෝකෙ නමක් හදා ගත්තෙ ට්‍රම්ප් අංකල්ට පිං සිද්ධ වෙන්ඩ. ඒ මිනිහ තමයි මගේ ඉටු දෙවියා. ඒ මිනිහට අනතුරක් වුනොත් ඊළඟ දවසෙම මං දිවි නහ ගන්නවා. මගේ අතින් නොදැනි මේ ළඟදි මිනිහගෙ හිත රිදෙන වචනයක් කියවුනා Dotard කියල. මිනිහගෙ හිත රිදුනෙ ඒ වචනෙ තේරුමට නෙමෙයි. මිනිහ දන්නැති වචන මම පාවිච්චි කරනවයි කියන එකට. මම රුසියාව හරහා මිනිහගෙන් සමාව ගත්තා. මින් මනත මිනිහ නොදන්න වචන කියලා මිනිහා අමාරුවෙ දාන්නැහැයි කියල'

‘ අනේ කොල්ලෝ මට පොඩි උදව්වක් කරහං'

‘ පණ උනත් දෙන්නම් මාමෙ හැබැයි සල්ලි නම් ඉල්ලන්ඩ එපා'

‘ නෑ බං. අර උඹලගෙ ටෙලිවිෂන් එකේ ප්‍රවෘත්ති කියන ගෑනු දෙන්නෙක්ව අපේ රූපවාහිනියට එවපංකො. දේශප්‍රේමය දේශවාත්සල්‍යය දේශභිමානය මෙව්වා වෙන විදිහට අපේ ප්‍රවෘත්ති කියන එවුංව ට්‍රේනිං කරන්ඩ'

‘ අයියෝ සිම්පල් වැඩක්නෙ මාමෙ. හැබැයි කෑම පිළිබඳ ප්‍රශ්නයක් එන්ඩ ඉඩ තියෙනවා. ඒ අයගෙ ප්‍රධාන ආහාරය පනුවො. ඒ අය ජීවත් වෙමින් පරපෝෂිතයන්ව ජීවත් කරනවා. මං කරන්නෙත් ඒකමයි. මං ජීවත් වෙන්නෙ ඇමරිකාවට රුසියාවට චීනෙට පිං සිද්දවෙන්ඩ. අපි හැම එකාම පරපෝෂිතයො. ඕක කාටවත් තේරෙන්නෑ මාමෙ'

‘එහෙනම් කොලුවො අපි කරන දේම තමයි උඹල ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් කරන්නෙ බලාගෙන ගියහම. සෑහෙන වෙලාවක් කතා කළා. හෙට අනිද්දා මං මෙහෙන් යනකං ඔය අහස්කූරු ගහන්ඩ යන්ඩෙපා'

‘පිස්සුද මාමෙ ආයිත් සල්ලි ඉවරවෙන කොට තමයි මිසයිල පත්තු කරන්නෙ. මාම බය නැතුව ඉන්ඩ. දාං මල්ලිලා චතූ අක්කිල කට්ටියම මතක් කලා කියන්න. බායි මාමි... '

‘ බායි කොලුවෝ...'

(ආලපාලුවා විසිනි.)

Powered by Blogger.