අයවැයට පෙර මංගලගෙන් සහන මල්ලක්. - Info Sri Lanka News | Sinhala

අයවැයට පෙර මංගලගෙන් සහන මල්ලක්.



අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද (08) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව 

  1. අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 39කින්
  2. හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10 කින්
  3. පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 12 කින්
  4. කරවල කිලොවක් සඳහා රුපියල් 50කින්
  5. පොල් තෙල් හා එළවළු තෙල් සඳහා රුපියල්  25කින්

පහත දමා තිබේ.


අඩුවෙනවා වැඩිවෙනවා : වැඩිවෙනවා අඩුවෙනවා මංගලගෙ අය වැය.

ශ්‍රී ලංකාව පොහොසත් හා බලවත් ජනතාවක් වෙසෙන රටක් බවට පත් කිරීමේ ආර්ථික ක්‍රමෝපාය හා යෝජනා සහිත 2018 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හෙට (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් ඇමැති මංගල සමරවීර හෙට සිය මංගල අය වැය වශයෙන් ඉදිරිපත් කරන්නේ නිදහස් ලංකාවේ 71 වන අය වැයයි.

මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය වැය මෙයයි. ජනතාව මුහුණ පා සිටින ආර්ථික කාරණා මඟ හරවා ගැනීම සඳහා මෙවර අය වැයෙන් උපාය මාර්ග හඳුන්වා දීම විශේෂත්වයක් වන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා ණය කන්දරාවේ අභියෝගය !

රට මුහුණ පා ඇති මහා ණය අභියෝගය ජය ගැනීම, අය හා වැය අතර පරතරය අවම කර ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පිණිස වන නව බදු ක්‍රම හඳුන්වාදීම, රැකියා වර්ධනය, ජනතාවගේ ආදායම වැඩිකිරීම සඳහාත් යෝජනා රැසක්ම මුදල් ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැයෙන් අපේක්‍ෂා කළ හැකි බව ද එම ආරංචි මාර්ග පවසයි.

අය වැය ලේඛනය හෙට ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බව කතානායක කරු ජයසූරිය ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අය වැය ලේඛනය පිළිබඳ විවාදය අනිද්දා (10දා) ආරම්භ කෙරේ.

අය වැය විවාදය හෙවත් 2018 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 16 වැනිදා දක්වා පැවැත්වේ. ඡන්ද විමසීම එදින සවස 5.00ට සිදුකෙරේ.

තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම දෙසැම්බර් 09 වැනිදා සවස 5ට පැවැත්වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා වෙබ් මාධ්‍යවේදීන් අතර හමුවක් ඊයේ (07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති අතර එහිදී ඇය වැය සම්බන්ධයෙන් ඉඟියක් ලබාදෙන ලෙස වෙබ් මාධ්‍යවේදීන් ඉල්ලීමක් කළ අතර එහිදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ “අඩුවෙනවා වැඩිවෙනවා : වැඩිවෙනවා අඩුවෙනවා“ යනුවෙනි.

Share on Google Plus