'අනිකාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් බලපෑමක් නෑ' - පොලිසිය. - Info Sri Lanka News | Sinhala

'අනිකාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් බලපෑමක් නෑ' - පොලිසිය.

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකාරියක වන අනිකා විජේසූරිය මහත්මියට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් රහස් පොලිසිය ඉදිරියේ සිදු කෙරෙන පරීක්ෂණ ඉවත් කර ගන්නට සහ පාතාලයකු සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ නැවැත්වීමට පොලිස්පතිවරයාට රජයේ ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙකුගෙන් බලපෑම් එල්ලවී ඇති බවට ඊයේ සහ පෙරේදා පළ වී ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය ඒවා බවත් කිසිම අවස්ථාවක කිසිදු දේශපාලනඥයෙකුගෙන් පොලිස්පතිවරයාට හෝ වෙනත් පරීක්ෂණ නිලධාරියෙකුට එවැනි බලපෑමක් එල්ල වී නොමැති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාත් තරයේ තහවුරු කර සිටිති.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුල්‍ය අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ වංචා විමර්ශන අංශය, පොලිස් මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාස සහ පළාත් මට්ටමෙන් ඇති සියලුම අපරාධ මෙහෙයුම් ඒකක සියල්ලකම විවිධ ආකාරයේ විවිධ පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ සිදුවන අතර එම කිසිම පරික්ෂණයක් සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකුගෙන් බලපෑමක් එල්ල වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පෙන්වා දෙයි.

පෙරේදා (25) දිවයින පුවත්පතේ ප්‍රධාන ශිර්ෂ පාඨයෙන්ද ඊයේ (26) ලංකාදීප සහ ඩේලි මිරර් පුවත්පත්වල මුල්පිටුවලද පොලිස්පතිවරයාට ඉහත සඳහන් පරීක්ෂණ ඉවත් කර ගන්නා ලෙසට රජයේ ප්‍රබල ඇමැතිවරු දෙදෙනෙකුගෙන් තර්ජන එල්ලවී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

ඊයේ (26) ගාල්ල උඩුවන පොලිසියේදී මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා එම මාධ්‍ය වාර්තා අසත්‍යබව පෙන්වාදීම සඳහාත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි.

ඒ අවස්ථාවේදී අදාළ පුවත්පත්වල ප්‍රවෘත්ති පෙන්වා දෙමින් පොලිස් අධිකාරිවරයා එම මාධ්‍ය වාර්තාවල අසත්‍යභාවය පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළකරන ලද අදහස්ද මෙහිදී පෙන්වා දුන්නේය.

අනිකා විජේසූරිය මහත්මියට තර්ජන එල්ල වූ බවට ඇය විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝග කරමින් එම පැමිණිල්ල රහස් පොලිසිය වෙත භාර දෙනු ලැබුවේ ද පොලිස්පතිවරයා විසින්ම බව රුවන් ගුණසේකර මහතා තවදුරටත් කියා සිටියේය.

තවද එසේ පරීක්ෂණයක් පැවැත්වීමට රහස් පොලිසියට නියෝග කළ පොලිස්පතිවරයාට කිසිදු අවස්ථාවක යම් පුද්ගලයකුගෙන් එම පරීක්ෂණ නවත්වන ලෙසට බලපෑමක් එල්ල වුවත් කිසිදු ආකාරයකින් එම බලපෑම්වලට යටත්ව පරීක්ෂණ නවත්වන්නේ නැති බවද පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පොලිස්පතිවරයා පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු නිලධාරියෙක් එවැනි කිසිදු බලපෑමකට යටත්ව පරීක්ෂණ අඩපණ කරන්නේ නැති බවද සෑමවිටම සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණ සිදුකරන බවද කියා සිටියේය.

ඊට හොඳම උදාහරණය ලෙස හෙතෙම පෙන්වා දුන්නේ මීට දින කීපයකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඔවුන්ගේ නිවසද පරීක්ෂා කොට ගිනි අවිවලට යොදන උණ්ඩද අත් අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමයි.

ඒ අනුව ඉහත කී පුවත්පත්වල වාර්තා වහාම නිවැරදි කරන ලෙසටත් අදාළ මාධ්‍ය ආයතන වලට දැනුම් දී ඇති බවත් රුවන් ගුණසේකර මහතා තවදුරටත් කියා සිටියේය.

රවීට එරෙහිව සාක්ෂි දුන් අනිකාට කල තර්ජනය ගැන සොයන පොලිස්පතිට දේශපාලන බලපෑම්?

Share on Google Plus