රවීට එරෙහිව සාක්ෂි දුන් අනිකාට කල තර්ජනය ගැන සොයන පොලිස්පතිට දේශපාලන බලපෑම්? - Info Sri Lanka News | Sinhala

රවීට එරෙහිව සාක්ෂි දුන් අනිකාට කල තර්ජනය ගැන සොයන පොලිස්පතිට දේශපාලන බලපෑම්?


‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වූ අනිකා විජේසූරිය මහත්මියට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියෙකු බව කියන පුද්ගලයෙකුගෙන් එල්ල වූ බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්‍ෂණ කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම නිවස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දී ඇති බවට වාර්තා වෙයි.

මෙසේ එල්ල වූ බව කියන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් අනිකා විජේසූරිය මහත්මියගේ සහ ඥාතීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ  පොලිස්  ආරක්‍ෂාවක් ද ලබාදී  තිබුණි.

මෙම තර්ජනවලින් අනතුරුව ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කියන අනිකා විජේසූරිය මහත්මිය එහි සිට තමන්ට එල්ල වූ ජීවිත තර්ජන පිළිබඳව විද්‍යුත් තැපැල් (ඊ-මේල්)  පණිවිඩයක් මඟින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කොට ඇති අතර ඒ අනුව රහස් පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පසු මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා  වේ.

කොමිසම පොලිස්පතිවරයාට කළ දැනුම් දීමකට අනුව ඇගේ නිවසට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති අතර මේ සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු රහස් පොලීසියට  බාරදී  තිබියදී මෙම බලපෑම එල්ල වී ඇතැයි වාර්තා වේ.

(අද පුවත්පත)

Share on Google Plus