ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධය, අද හම්බන්තොටදී විරෝධතාවේ.


මත්තල ගුවන් තොටුපළ ඇතුළු ගොවිබිම් විකුණා දැමීමේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙලට එරෙහි විරෝධතා ව්‍යාපාරය නියමිත පරිදි අද (6 දා) පෙරවරු 10.00 ට හම්බන්තොට දී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.  ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්‌ථානය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබේ.

 මෙම විරෝධතා ව්‍යාපාරය ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති, අනුබද්ධ සංවිධාන බහුජන සංවිධාන ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 මත්තල ගුවන් තොටුපොළ හා ගොවිබිම් විකුණාකන විදේශ ප්‍රේමී ආණ්‌ඩුවට එරෙහි ජනතා සටන ලෙස මෙම විරෝධතාව පැවැත්වේ.

ඒකාබද්ධයේ හම්බන්තොට උද්ඝෝෂණයට උසාවියෙන් තහනම් නියෝගයක්‌

 මාගම්පුර වරාය සහ මත්තල ගුවන් තොටුපළ විදේශ රටවලට පැවරීමට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් අද (06 දා) සිදු කිරීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව හම්බන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්‌ ලබාගෙන ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්‌ෂ, ඩී. වී. චානක යන මහත්වරුන් ඇතුළු උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනාට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (05 දා) පැවසීය.


 අද දිනය තුළ උද්ඝෝෂකයන්ට හම්බන්තොට අධිකරණ බල සීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කිරීමද, ඉන්දීය තානාපති කාර්යාලය, මාගම්පුර වරාය හා ප්‍රවිශ්ඨ මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණ කිරීමද කිසිදු දේපළකට අලාභ හානි කිරීමෙන්ද වළකින ලෙසට එම නියෝගයෙන් තහනම් කර තිබේ.

Powered by Blogger.