හම්බන්තොට චණ්ඩියා ගැන ඇසිය යුත්තේ පොලිස් ලිෆ්ට් චණ්ඩියාගෙන්ද?


ඉකුත් 06දා හම්බන්තොට පැවති උද්ඝෝෂනය අතරතුර අත් අඩංගුවට ගත් පුද්ගලයකුට ඉහළ පොලිස් නිලධාරියකු විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ නිකුත් වී තිබිණි. පහර කෑමට ලක් වූ තරුණයා මාධ්‍යවේදියකු බවට ද පුවත් වාර්තා වී තිබේ. මේ තරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් එකී පොලිස් නිලධාරියාට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය ලැජ්ජාවට පත් විය යුතු නමුදු එය ඔවුන්ට ගැටළුවක් නොවන්නේ සිය වසර 151ක ඉතිහාසය පුරාවට ම ලැජ්ජාවක් කියා දෙයක් ඔවුන් නොදැන සිටිනා නිසාය. 

මානව හිමිකම් කියා ජාතියක් ලොවේ ඇති වගක් මේ උතුම් දීපයේ පොලිස් නිලදරුවන් දන්නේ නැත. කනින් කොණින් හෝ අසා තිබුණත් ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට වැදගත් වන්නේ ඉහළ බලධාරීන් පිනවීම පමණය. ඉහත කී සිදුවීමේදී ද අත් අඩංගුවට පත්ව දෑතට විලංගු ද ලාගෙන පැමිණෙන තරුණයාට සහකාර පොලිස් අධිකාරීවරයා පහර දෙන්නේ දේශපාලන ලොක්කන් හෝ පොලීසියේ ම ලොක්කන් ඉදිරියේ ලකුණු ලබා ගැනීමේ අරමුණින් විය යුතුය. එසේ නොවේ නම් එතැනදී එකී පුද්ගලයාට පහර දීමට වෙනත් කිසිම හේතුවක් කාටවත් පෙනෙන්නේ නැත. එහෙත් යම් පමණකට හෝ දැනුම් තේරුම් ඇති සමාජයක් ඉදිරියෙහි මේවායින් සිදුවන්නේ දේශපාලන ලොක්කන්ගේ ද රෙදි ගැලවී යාමය. 

අනෙත් අතට පොලිස් මූලස්ථානය තුළදී ම එහි විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දී එහි වීඩියෝ සාක්ෂි ද හමුවීමෙන් පසුත් කිසිදු ආපදාවක් නොමැතිව යහතින් ඉන්නා පොලිස්පතිවරයෙක් ඇති රටක, මේවා පැමිණිලි කළ යුත්තේ කාටද යන්න පවා ප්‍රශ්නයකි. පොලිස්පතිවරයා රටම ඉදිරියේ විකටයකු වී ඇති නිසා ඔහු ගැන කතා කිරීම ද කාලය නාස්ති කිරීමක් වී තිබේ. ඔහුට එරෙහිව කර කියා ගත හැකි කිසිවක් නොමැති නිසා පොලිස් කොමිසම ද සර්කස් මඩුවක් බවට පත්ව තිබේ. ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයින් දුව දුවා මූත්‍රා කිරීම සිරිත වන බැවින් සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්තගේ හැසිරීම ගැන පැමිණිලි කරන්නට ද කිසිවකු නොමැති ගාණය. 

එසේම, මෙය පොලීසිය සම්බන්ධයෙන් එක් සතියක් තුළ සිදු වූ දෙවන ආන්දෝලනාත්මක සිදුවීමයි. බන්ධනාගාරයේ සිටි රැඳවියකු මිය යාම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගැණුනේ ද මේ සතියේමය. මියගිය පුද්ගලයාට බරපතළ ලෙස පොලිසියෙන් පහරදී ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරන අතර මරණ පරීක්ෂණ වාර්තාවේ ද දැක්වෙන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවය. පොලීසියට හිතූමතේ ජනතාවට පහර දෙන්නට ඉඩකඩ ලබා දීමෙන් කෙළවරේ සිදුවන්නේ එවැනි දේවල්ය. එහෙයින් සමස්ත පොලීසියට ම පාඩමක් වන්නට මෙවන් චණ්ඩි පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. 

මෙම රජය බලයට පත් වූයේම භීෂණයට එරෙහි වන බව කියමිනි. මර්ධනයට එරෙහි වන බව කියමිනි. එහෙත් අත් අඩංගුවේ සිටියදීත් ගුටි කන්නට, ගුටි කා මරණයට පත් වන්නට සිදුවන පොලිස් භීෂණය තවමත් එසේමය. කප්පම් ගැනීම සඳහා මිනීමැරූ වාස් ගුණවර්ධන වැනි පොලිස් ලොක්කන් අපට අමතක නැත. එවැන්නන් බිහි වන්නේ මෙසේ හිතූ මතේට මිනිසුන් තළා පෙළීමට හැකියාව පොලිසියට ලැබුණු විටය. අනාගතයේ තවත් වාස් ගුණවර්ධනලා බිහි නොවන්නට නම් දැන් ම සිට පොලීසියට තමන්ගේ වපසරිය කියා දිය යුතුය. එහෙයින් මෙම රජය බලයට පත් කිරීමට වෙහෙස වූ මානව හිමිකම් සංවිධාන වලට ද මේවාට එරෙහිව කටයුතු කිරීමේ දැඩි වගකීමක් පවතී. 

එසේම වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වන්නේ මංගල සමරවීරය. ඔහු 'මාධ්‍ය මිතුරෙකු' ලෙස ද ප්‍රකටය. එසේම ඔහු මෙම රජය බිහිකිරීම සඳහා මූලික වැඩකොටසක් කළ, මෙම රජයේ ප්‍රබලයෙකි. මාධ්‍යවේදියකුට මෙසේ පොලීසිය පහරදීම සහ ඊට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැන අමාත්‍ය මංගල සමරවීර කියන්නේ කුමක්දැයි දැන ගැනීමට අප ද කැමතිය. 

මානව හිමිකම් පිළිබඳව යම් හැඟීමක් දැනීමක් වත්මන් පොලීසියට ලැබෙන්නට නම් ඇති එකම විසඳුම වන්නේ ඉහළ සිට පහළට සියළුම පොලිස් නිලධාරීන් අල්ලා පුනරුත්ථාපනය කිරීමය. එය ලොවෙත් සිදු නොවෙනා නිසා දැන් ඇත්තේ සිදුවීමක් වූ වහාම හෝ යුක්තිය ඉල්ලා බල කිරීමටය. හම්බන්තොට පොලිස් පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාට දඬුවම් පැමිණවිය යුතුමය. එසේම කාලයට යට කිරීමට තැත් දරනා පොලිස්පති පූජිත්ගේ පහරදීම සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. මිනීමැරුමක සාක්ෂි වසන් කළ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් බිමට තල්ලු කර තරුණයකු මැරූ රත්නපුර සහකාර පොලිස් අධිකාරීට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. ලැයිස්තුව තව බොහෝ දිගු වන අතර නීතියේ ආධිපත්‍ය රටේ පිහිටුවන්නට නම් සියල්ලට පෙර පොලීසිය නීතිගරුක කළ යුතුව ඇත.  එසේ නොමැති වුවහොත් රටට සිදුවන්නේ පොලිස් මිනීමරුවන් ගෙදර එවනා මීනී ගණන් කරමින් උඩ බලාගෙන ඉන්නට හිත හදාගන්නටය.

(LNW)

Share on Google Plus