මාධ්‍ය සදාචාරය – ජනමාධ්‍ය, දුප්පත්කම සහ “ග්‍රාම ශක්ති”


ජනමාධ්‍ය බරපතලය, බලවත්ය. එය සියලු කල්හි සත්‍ය කරුණකි. “කඩුවට වඩා පෑන බලවත්” යැයි එකල්හි විසූ මාධ්‍ය ප්‍රාඥයයින් පවසා ඇත්තේ ඔවුන් විසින් මෙහෙයවූ වාක්සම්ප්‍රදාය උසස් ආකල්ප වලින් පරිසම්පන්න උගත් සමාජයක අරක්ගෙන සිටින බලසම්පන්න ස්ථාවරය නොපවසා පැවසීමටය. එම අතීත මාධ්‍ය සංස්කෘතිය තුළ වෙනත් භෞතීය බලපෑම් වලට අංශුමාත්‍රයකවත් ඉඩක් නොතැබීමට ඔවුන් වගබලා ගත්හ. එහෙයින් එම මාධ්‍ය සංස්කෘතිය කෙරෙහි සාමාන්‍ය මිනිසා තුල තිබු විශ්වසනීයත්වය කිසිදිනක පලුදු නොවීය. එක්දහස් නවසිය බරගණන්වල මාධ්‍ය සංස්කෘතියේ මාධ්‍ය කරුවා පෝෂණය කල මාධ්‍ය සත්‍යවාදීත්වය, පිරිසිදුබව, සහ සදාචාර සම්පන්න බව උගත් සමාජයක සත්‍යවාදී ආකල්ප වර්ධනය වී සර්ව සාධාරණීය ඇසකින් ලෝකය විශ්ලේෂණය කරන සමාජයක් බිහිකිරීමට පුර්වාදර්ශ සැපයීය. ඒ වෙනුවෙන් ඔවුන් තම මුළු ජීවිතයම කැප කළහ. නමුත් අවාසනාව යනු, එවන් පුළුල් පරිචියක පිහිටුවා ඔවුන් සැලසුම් කල මාධ්‍ය සභ්‍යත්වය අනාගත ලාංකීය සමාජය තුළද එලෙසෙම ක්‍රියාත්මක වේ යැයි අනුමාන කිරීමය.

සියලු දේ වෙනස් වන ලෝකයක පිරිසිදු මාධ්‍ය සංස්කෘතියක් එලෙසෙම පවතී යැයි සිතීම විහිළුවකටත් වඩා ඛේදවාචකයකි. එය පසක් කරමින් වර්තමාන මාධ්‍ය සංස්කෘතිය කඩුවටත්, පෑනටත් වඩා පරිගණක යතුරුපුවරුව බලවත් යැයි තම තේමාපාටය කරගෙන සිටී. සත්‍යට ව්‍යාජත්වය පින්තාරු කිරීමටත් ව්‍යාජය මත රේන්ද පටි ඇල්ලීමටත් ඉතා ඉහළ හැකියාවන් ඇති මාධ්‍ය ඔස්තාර්වරු ශ්‍රී ලාංකීය මාධ්‍ය සංස්කෘතිය තුල පඳුරක් පඳුරක් ගානේ යෙහෙමින් බිහිවෙමින් පවතී. දශකයකට පමණ පෙර බිහිවූ ‘සමාජ මාධ්‍ය’ සංස්කෘතිය, අප දැන් අත්දකින මාධ්‍ය ඛේදවාචකය නම් වූ පිදුරු ගොඩට ගිනි කූරක් දැමීමට සමත් වී ඇත. එය හොඳට හෝ නරකට ලැව් ගින්නක් මෙන් පැතිරී ඇත. එහි හොඳ ගැන කතා කිරීමට අවශ්‍ය නැත. අපි බිය විය යුත්තේ අනෙකටය. එකල්හි ජනමාධ්‍ය සහ දේශපාලනය අතර නොබිඳෙන ශක්තිමත් තාප්පයක් ගොඩනැගී තිබුණු අතර අද වන විට එහි පාදමවත් සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත. දැන් සිදුවන්නේ මාධ්‍යවේදියා මාධ්‍ය හසුරුවනවා වෙනුවට දේශපාලකයා මාධ්‍ය හැසිරවීමයි. ඔවුන් එය තවකෙකු ඉහලට එසවීමටත් එසේත් නැත්නම් තවකෙකු පාගාදැමීමටත් අවියක් ලෙස ඉතා සාර්ථකව භාවිතා කරති. එවන් දේශපාලුවන් තම පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කිරීම විනා සමාජයේ යහපත වෙනුවන් කරන දෙයක් නැත. එවන් අශිෂ්ට මාධ්‍ය ක්‍රියාදාමයක් පසුගිය දින කීපයේ අන්තර්ජාලයේ සංසරණය වන සැටි සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලෙස අප දුටිමු.

දුප්පත්කම පිටු දකින “ග්‍රාම ශක්ති”

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු කරන ලද සංවර්ධන කාර්යයන් ශ්‍රී ලංකාවේ සමස්ථ සංවර්ධන වැඩපිළිවෙලේ ගනු ලබන ඉඩ වපසරිය මා නොදන්නා නමුත් ජනාධිපති මෛත්‍රීපාල මහතා මුලිකත්වයෙන් අරඹා තිබෙන “ග්‍රාම ශක්ති” නම් වූ වෙනස්ම ආකාරයේ වැඩපිළිවලක් කෙරෙහි මගේ ඇස්, කන් සහ සිත ඇදී ගියේ එවන් ආකාරයේ ප්‍රජාපාලිත ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වනු මින්පෙර මා දැක නොමැති බැව්නි. එම සංවර්ධන ක්‍රියාදාමය ගැන වඩාත් ගැඹුරින් සොයාබැලීමේදී මා සොයාගත් කරුණු අනුව “ග්‍රාම ශක්ති” යෝධ ජනතා ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ වසර 2020 වන විට ගම් 15,000 පමණ අතිවිශාල ජනතාවකගේ මූලික අවශ්‍යතා සපුරාලීමයි.

මේ සඳහා 2017 වර්ෂය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 10% සිට 45% දක්වා දරිද්‍රතා මට්ටමක් පෙන්නුම් කරනු ලබන ග්‍රාම නිලධාරි වසම් 700ක් තෝරා ගෙන, එකී වසම්වල වෙසෙන පවුල්වලින් 80%ක් සහභාගි වන මහ සභාවකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත ජනතා සමාගමක් වශයෙන් පිහිටුවීමට නියමිතය. මෙම ප්‍රජා පාලිත සමාගම් වෙත සංවර්ධන අරමුදල් නිකුත් කෙරෙන අතර, 2017 වසර අවසානයේදී එකී සෑම ගමකම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ ප්‍රජා පාලිත ගම්මාන 700ට අමතරව ‘නිෂ්පාදන ගම්මාන’ ලෙස දියුණු කළ හැකි, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් 300ක් තෝරාගෙන අපනයනය සඳහා සුදුසු නිෂ්පාදන හෝ දේශීය අවශ්‍යතා සපුරමින් ආනයනය අඩු කළ හැකි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය හා මූල්‍ය පහසුකම් සලසා දෙමින් අලුත් රැකියා අවස්ථා බිහි කරලීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, මෙම ‘ග්‍රාම ශක්ති’ වැඩසටහන, රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සහිතව ක්‍රියාත්මක කරනු ලබනවා.

2017 වර්ෂය ශ්‍රී ලංකාවේ “දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම වසර පුරා මේ වන විට ක්‍රියාත්මක කරන ලද විවිධ සමාජ සවි බලගැන්වීමේ ව්‍යාපෘතිවල විවිධවූ ක්‍රියාන්විතයන් වල ප්‍රතිපලයක් ලෙස 1990 වසරේදී 26.1%ක්ව පැවති ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2011 වර්ෂය වන විට 6.7%ක් දක්වා අඩු කරගැනීමට හැකි වී තිබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ආඩම්බර විය යුතුය. එමෙන්ම ආහාර සුරක්ෂිත වැඩසටහනට, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට, වකුගඩු නිවාරණ වැඩසටහනට ජනාධිපතිවරයාගේ 2018 වැය ශීර්ෂය තුළින් මුදල් වෙන් වන අතර ‘ග්‍රාම ශක්ති’ වැඩසටහන සඳහා 2018 වසරේ දී රුපියල් මිලියන 6000ක් වෙන් කිරීමට නියමිතව ඇත.

මෙම “ග්‍රාම ශක්ති” ප්‍රජාපාලිත යෝධ සංවර්ධන වැඩසටහන තුල ඇති විභවීය කරුණ වන්නේ එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තිරසාර සංවර්ධනය සැබෑ ලෙසම අර්ථ නිරූපනය වීමයි. එනම්, මේ තුලින් වර්තමාන පරම්පරාවේ සමාජ සංවර්ධනය කිරීමට අමතරව අනාගත පරම්පරාවේ සංවර්ධනයේ දියණුව ප්‍රත්‍යක්ෂ වන ලෙස සමස්ථ වැඩසටහන සැලසුම් කර තිබීමයි.

කෙසේ වෙතත් මා පෙර සඳහන් කරන ලද අශිෂ්ට මාධ්‍ය ක්‍රියාදාමය වන්නේ, රටට වැඩ දායී මෙම අතිවිශාල යෝධ සංවර්ධන වැඩසටහන මාධ්‍ය වගකීමක් ලෙස රජය දිරිගන්වමින් තව තවත් ප්‍රවර්ධනය කරනවා වෙනුවට විරුද්ධ දේශපාලන පාර්ශවයන් විසින් ක්‍රියාත්මක කරන මාධ්‍ය ධාරාවන් ඔස්සේ ව්වේචනය කිරීමයි. සමාජයේ වගකිවයුතු යහපත් පුරවැසියන් ලෙස අප මෙවැනි අසික්කිත මෙහෙයුම පිටුපස සිටින තුච්ඡ මාධ්‍ය නඩය හෙලා දැකිය යුතුය. හොඳ දේ අගය කිරීමත් වැරදි දේ හෙලා ලෙසත් මාධ්‍යකරුවන්ගේ වගකීම වන්නේය. එය කිසි විටෙකත් මාධ්‍ය සදාචාර සහ ආචාර ධර්ම අභිබවා ක්‍රියා නොකළ යුතුය යන්න මාගේ හැඟීමයි.

– සඳුන් සංදීප

Powered by Blogger.