ගෝඨා-බැසිල් ඇවිළෙති.


ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහනක් අතරතුර දී යාපනයේ මාධ්‍යවේදීන් සමඟ යුද අපරාධ සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ කළ ප‍්‍රකාශයක් නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

යුද්ධය අවසාන වීමෙන් පසු ආරක්ෂක අංශ මඟින් කළ බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් අපරාධ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා පවසා තිබුණේ එවැනි දේ සිදු වූ බවයි. මේ ප‍්‍රකාශය බරපතළ වරදක් බවත්, එමඟින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ගේ දේශපාලන කටයුතුවලට බරපතළ පහරක් එල්ල වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ දරන ස්ථාවරයේ ය.

එමඟින් තමන් සමඟ සිටින ජාතික බලවේගවලට පහරක් එල්ල කර ඇති බවත්, ඔවුන් තමන්ගෙන් ඈත් වුවහොත් එහි වගකීම බැසිල් රාජපක්ෂ භාර ගත යුතු බවත් රාජපක්ෂ පවුලේ අදහස වී තිබේ. මේ ප‍්‍රකාශය නිවැරදි කරන ලෙස බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇතත්, ඔහු පවසා ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතුවල දී මේ දෙපාර්ශ්වය සමඟ ම කටයුතු කළ යුතු බව ය. එම නිසා අදාළ ප‍්‍රකාශය නිවැරදි කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු පවසා ඇතැයි අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

-ජනිත ප්‍රසාද් සේනානායක

Powered by Blogger.