බඩුමිල ගැන කැබිනට්ටුවේ ගැටුම් : සහල් අලෙවිය සමුපකාරයටත්.


ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළයාම සම්බන්ධයෙන් ඊයේ (17) පැවති කැබිනට් මණ්ඩලයේදී දීර්ග වශයෙන් සාකච්ජාවට ලක්ව ඇති අතර, එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙනෙකු අතර උණුසුම් මත ගැටුම් ඇතිව තිබේ.

සහල්, පොල්, ලුණු, මාළු, අර්තාපල්  ආදී ආහාරවල වල මිල ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසද්දී එයට පක්ෂව අදහස් පළකර ඇති අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊට වගකිවයුතු අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ මුලික චෝදනාව එල්ලවී ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මහතා වෙතය.

එහිදී පිළිතුරු දී ඇති අමාත්‍ය බද්දුර්දින් මහතා ඒ සම්බන්ධයෙන් තමාට කල හැකි දෙයක් නොමැතිබව පවසා තිබේ.

ජීවන වියදම් කමිටුවට චෝදනා :

රජය ප්‍රකාශ කරන අඩු මිලට සහල් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් නොලැබෙන බවට ඇමැතිවරුන් කීප දෙනකු ම එහිදී පෙන්වා දී ඇති අතර, ජීවන වියදම් කමිටුව නිසි පරිදි සිය වගකීම ඉටුනොකරන බැවින් එම කමිටුව ඉල්ලා අස්විය යුතු බව ඔවුන් පවසා තිබේ.

අනතුරුව රජය සතු සහල් සතොස මඟින් පමණක් අලෙවි කිරීම නිසා ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් අවකාශයක් නොලැබෙන බව අවධාරණය කොට ඇති කැබිනට් මණ්ඩලය, මින් ඉදිරියට සමුපකාර මඟින්ද රජයේ සහල් තොග අඩු මිලට අලෙවි කිරීමට තීරණය කොට තිබේ.

රජයේ සහල් තොග සමුපකාර වෙත ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීම ජනාධිපතිවරයා විසින් ජීවන වියදම් කමිටුවට භාරදී ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේ එම කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්ද සිදු කෙරිණි.

Powered by Blogger.