වැලිකඩ ගැන CID වාර්තා අභියාචනාධිකරණය ඉල්ලයි.


වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමකින් එහි රඳවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව රහස් පොලිසිය සිදුකළ පරීක්‍ෂණ වල වාර්තා ලබන දෙසැම්බර් 06 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය රහස් පොලිසියට ඊයේ (17දා) නියම කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට සහ රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයාට නියම කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධය ඇසින්  දුටුවෙක්  අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් කළ කරුනු සළකා බැලූ අභියාචනාධිකරණය එලෙස නියම කළේය.

.වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු එම ගැටුම ඇසින් දුටු පුද්ගලයෙකු වූ තිස්සමහාරාමය පදිංචි සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරතරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්‍ෂකවරයා, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ,පුනරුත්ථාපන ,නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු පිලිබඳ අමාත්‍ය ඞී.එම්.ස්වාමිනාදන් සහ නීතීපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

එවකට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගයකට අනුව බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බවත් එහිදී ආරක්‍ෂක නිලධාරීන් සමඟ බන්ධනාගාර රැඳවියන් පිරිසක් ගැටුණු බවත් ආරක්‍ෂක නිලධාරීන් කදුලූ ගෑස් හා ආයුධ යොදා ගනිමන් තත්වය ඉතාම කෲර ලෙස පාලනය කළ බවත් මින් රැඳවියන් 27දෙනෙකු ඝාතනය වු බවත් පෙත්සමේ සඳහන් කොට ඇත.

Powered by Blogger.