Ceypetco තෙල් මිල වැඩි කරන්නේ නෑ.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මිල වැඩි නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අයි.ඕ.සී. සමාගම තෙල් මිල වැඩි‍ කළොත් සංස්ථාව පාඩු ලබා ගෙන තෙල් සපයන බවද ඇමතිවරයා සඳහන් කරයි.

තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි ඕ සී සමාගම මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ බවද දැනට තෙල් මිල වැඩි නොකරන‍ ලෙස රජය ඉල්ලීමක් කළ බවද කී ඇමතිවරයා අයි. ඕ. සී එක තෙල් මිල වැඩි කළොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස පාඩු ලබා ගෙන තෙල් සපයන බවද කීය.

 තෙල් මිල වැඩි කළ යුතු යැයි රජය තීරණය කළොත් වැඩි කිරීමට සිදු වෙන බව කී ඇමතිවරයා තෙල් මිල වැඩි වුණාම එය සියලු අංශයන්ට බලපාන අතර එයින් සාමාන්‍ය මිනිස්සු තැලෙන බවද පවසයි.

ඇමතිවරයා මෙසේද සඳහන් කරයි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් විය යුතු නැහැ. විශේෂයෙන්ම අපි මහජනතාවට සහන දෙන්න අවශ්‍ය නම්. එහෙම නැතිව මහජනතාව ගැන සිතන්නේ නැතිව ලාභය ගැන හිතනවා නම් මේ ආයතනයට ලාභ ලබන්නත් පුළුවන්. ඉතිං අපි යන්න ඕන මධ්‍යස්ථ තැනකට. සහන දෙන ගමන් පාඩු නොලබන තැනකට මේ ආයතන ගෙන යා යුතුයි. එහෙම කරන්න පුළුවන් වුණොත් එය අපි ලබන ලොකු ජයග්‍ර‍හණයක්....”

“ලංකා අයි ඕසී සමාගමට අවශ්‍යනම් තෙල් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් රජයක් හැටියට අපිටත් ඒ වෙලාවට තීරණ ගන්න වෙනවා. විශේෂයෙන්ම ඒ ගොල්ලන්ට ඕන ඕන දේවල් මේ රටට ඇවිල්ලා කරනවා නම් ඒක කිරීමේ වරදක් තියෙනවා. ඒකට ආණ්ඩුවක් තියෙනවා. මං හිතන්නේ ආණ්ඩුව ඒකට තීරණය ලබා දිය යුතුයි. නමුත් මෙහි තවත් පැත්තක් තියෙනවා. සමහර විට තම සමාගම අලාභ ලබන විට මෙහි සිටින නිලධාරීන් ඉන්දියාවේ මව් සමාගමට වගකියන්න ඕන. ඒක ප්‍ර‍ශ්නයක් විය හැකියි.

නමුත් ඕන ඕන විදියට තෙල් මිල වැඩි කරන්න බැහැ. අපි තීරණයක් ගත යුතුයි ඉදිරියට මේ ව්‍යාපාරය කොහොමද කරන්නේ කියලා. මං හිතන්නේ ඒ සඳහා මිල සූත්‍ර‍යක් අනිවාර්යෙන්ම කොයි කාලේ හරි ඉක්මනට එන්න ඕන. ඒ කියන්නේ ලෝක වෙළඳ පොළේ මිල වැඩි වන විට අපේ මිල වැඩි වෙන්න ඕන. ලෝක වෙළඳ පොළේ මිල අඩු වෙනකොට අපේ මිල අඩු වෙන්න ඕන. මිල සූත්‍ර‍ය හඳුන්වා දීමට මීට පෙර කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා වුණා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම මිල සූත්‍ර‍යක් හඳුන්වා දෙනවා නම් එය මගේ මිල සූත්‍ර‍යක් විය යුතු නැහැ. රජය සුදුසු පුද්ගලයින්ගෙන් යුක්ත කමිටුවක් පත් කරලා එය කළ යුතුයි. ඒ කියන්නේ අපිට ස්වාධීන ක්‍ර‍මවේදයක් හදන්න ඕන මේ වගේ ආයතන දුවන්න ඕනනම්. 

Powered by Blogger.