ගෝඨා මගේ ඉඩම බලෙන් ගත්තා - හිමිකරු ජනපතිට ලියයි. - Info Sri Lanka News | Sinhala

ගෝඨා මගේ ඉඩම බලෙන් ගත්තා - හිමිකරු ජනපතිට ලියයි.


කොළඹ 03 සයිමන් හේවාවිතාරණ මාවතේ අංක 08 දරන ස්ථානයේ පිහිටි පර්චස් 15.2ක ඉඩම 2012-02-23 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා එම ස්ථානයේ පවත්වාගෙන ගිය යුරෝ කාර්මාර්ට් පුද්ගලික සමාගම වසා දැමීමට සිදු වීමෙන් තමාට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව එහි හිමිකරු ගාමිණී වික‍්‍රමරත්න මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත. 

අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලහත්කාරයෙන් පවරාගෙන ඇත්තේ හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති වාචික උපදෙස් මත බව ද අනාවරණය වී තිබේ. ගාමිණී වික‍්‍රමරත්න මහතාට අදාළ ඉඩම 99 වසරක බදු වශයෙන් හිමි වී ඇත්තේ 92-01-30 දිනැති අංක 18 දරන බදු ගිවිසුම මඟිනි.

අදාළ සමාගම පවත්වා ගෙන ගිය පරිශ‍්‍රයට අයත් පර්චස් 15.2ක ඉඩම කොම්පඤ්ඤවීදිය ප‍්‍රතිසංවිධාන ව්‍යාපෘතියේ II අදියර සඳහා පවරාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ 2012 -12 -06 දිනැති අංක අවප-/12/1581/503/105-1 අමාත්‍ය මණ්ඩල සංදේශය මඟිනි.

92-01-30 දින අංන 18 දරන බදු ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කරමින් බදු ගිවිසුම වලංගු හා බලසහිතව තිබිය දී නාගරික සංවර්ධන අධිකාරිය වෙත නීතිවිරෝධී ලෙස එම ඉඩම පවරා ගැනීම පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි කිරීමට පවා බිය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එවක පාලන සමය තුළ පැවති භීෂණකාරි වාතාවරණය සහ ඉඩම පවරා ගැනීම පිළිබඳව නීතිමය කි‍්‍රයා මාර්ග නොගන්නා ලෙස දිගින් දිගටම මරණ තර්ජන එල්ල වීම නිසා බව ද ගාමිණී වික‍්‍රමරත්න මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

අදාළ ඉඩම බලහත්කාරයෙන් පවරා ගැනීම පිළිබඳව ගාමිණී වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේ 2013 -08 -13 දින හමුදා නිල ඇඳුමින් සැරසුණු නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත බලහත්කාරයෙන් කැඳවාගෙන ගොස් 99 වසරට බදු ලබා දී තිබූ තමාගේ ඉඩම අවලංගු කිරීමේ ඔප්පුවක් ලිවීම සඳහා ලේඛනවලට අත්සන් කරන ලෙස තමාට බලපෑම් කළ බවය.

අදාළ 99 වසරේ බදු ගිවිසුම වලංගුව හා ඉදිරියටත් බලාත්මක වන බැවින් වෙනත් ඔප්පුවක් ලිවීමේ ලේඛනවලට අත්සන් කිරීමේ බලපෑම් ප‍්‍රතික්ෂේප කළ බව ද පැවසූ වික‍්‍රමරත්න මහතා එම ඉඩම් පරිශ‍්‍රය සිය කැමැත්තෙන්ම භාරදෙන බව සහ වැඩිපුරම වන්දියක් අපේක්ෂා නොකරන බවටත් කිසිදු අධිකරණයක් හමුවේ මෙම සිද්ධිය අභියෝගයකට ලක් නොකරන බවටත් සඳහන් කරන ලෙස තමාගේ, හිසට පිස්තෝලයක් එල්ල කර කඩදාසියක මත සිය අත්සන ලබා ගත්තද එහි පිටපතක් තමා වෙත ලබා නොදුන් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කර ඇති කොම්පඤ්ඤවීදිය ප‍්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය 11 අදියර කොළඹ 02, අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව පකිස්තානයේ ලක්ශානි සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ශ‍්‍රී ලංකාවේ ඉම්පිරියල් බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත පර්චසයට රුපියල් ලක්ෂ 59.25කට තක්සේරු කර 2012 වසරේ දී ගෙවා ඇතත් ගාමිණී වික‍්‍රමරත්න මහතාගෙන් බලහත්කාරයෙන් පවරාගෙන ඇති පර්චස් 15.2 ක ඉඩමට 2013 වසරේ දී ගෙවා ඇත්තේ පර්චසය රුපියල් 7,63154.80 වටිනාකමට තක්සේරු කර මුළු වටිනාකම රුපියල් 11,600,000ක මුදලක් පමණක්වන අතර එම මුදල ගෙවා ඇත්තේ ද චෙක්පත් දෙකකිනි.

තක්සේරු දෙපාර්තමේන්තුවේ 2013 -03 -12 දිනැති අංක ක්‍ඵරැුක්‍ඵජරැුඛඵරැු1013 ලිපියට අදාළව ගාමිණී  වික‍්‍රමරත්න මහතාගේ කොළඹ - 3 සයිමන් තොවාවිතාරණ මාවතේ අංක 08 දරණ ස්ථානයේ පිහිටි පර්චස් 15.2ක ඉඩම රුපියල් 11,600,000ක් ලෙස තක්සේරු කර ගෙවා ඇතත් එම දෙපාර්තමේන්තුව විසින්ම 2017 -05 -18 වන දින ක්‍ඵරැුඍඔෂරැු2017 අංකය යටතේ ගාමිණී වික‍්‍රමරත්න මහතාට යවන ලද ලිපියක එම ඉඩම සඳහා රුපියල් 26,500,000ක් ලෙස තක්සේරු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත වාර්තා කරන ලද බව දැනුම් දී ඇත.

තක්සේරු දෙපාර්තමේන්තුව සිය ඉඩම සඳහා මුලින් අඩු තක්සේරුවක් කර රුපියල් 11,600,000ක් තක්සේරු කර ඇතත් අදාළ හිඟ මුුදල ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදා කි‍්‍රයා මාර්ගයක් ගෙන නොමැති බව ද ගාමිණී වික‍්‍රමරත්න මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

Share on Google Plus