රණවිරුවන් තිදෙනෙකු එකම දිනක විවාහ කරගන්නා යුවතියන් තිදෙනාගේ කතාව.


  • මංගල්‍ය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 24 දින
  • සියලු මංගල්‍ය කටයුතු කරන්නෙ “සියනෑවේ අපි” සංවිධානය

පෙරවදනක් ලියන්නට මම වචන ගළපමින් සිටිමි. එය කොහොම කොතනින් පටන්ගෙන අවසන් කරන්නදැයි මට සිතාගත නොහැකිය. ඇරත් එය පිටුවකින් ලියා අවසන් කරන්නට මට ලෝභ සිතෙයි. කොහොමටත් මේ ප්‍රේම කතාව මගේ හිත සින්නක්කරවම ලියාගෙන අවසන්.

දැන් වෙලාව හවස 3 හමාරයි. මේ විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයට අව්වකුත් වැස්සකුත් දෙකම එකට වැටෙන අමුතුම හැන්දෑවක්. මම ඉඳගෙන ඉන්නෙ රතු පාට මේස රෙද්දක් පිළිවෙලට සකස් කරලා එළපු මේසයක් ළඟ, බර සපත්තු අඩි සද්දයක් හෙමින් හෙමින් මගේ දිහාවට ළං වෙනවා, ඒ හඬ මං බලාපොරොත්තුවෙන් හිටියා.

“මිස් ඒ කට්ටිය ඇවිල්ලා ඉන්නවා.”

කලින් ඇහුණ බර අඩි සපත්තුව මගේ ළඟින් නතර වෙලා කතා කළා. ඒ විජයබාහු රෙජිමේන්තුවේ නිලධාරියෙක්. තද කොළ පාට නිල ඇඳුම බොහෝම ප්‍රතාපවත්. හැබැයි විනාඩියක් ඉන්න. ඒ ඇඳුම ඇතුළෙන් ඉන්නේ හදවත රත්තරන් මනුස්සයෙක්!

“හරි මං ලෑස්තියි”

දැන් මං දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා මගේ ඉස්සරහින්, පිටුපස්සෙන් එහාට මෙහාට යන කාර්යක්ෂම නිලධාරීන්ගෙන් “සැලියුට්” උත්සව ශාලාවම එළිය වෙලා.

මෙහෙම අහන්නද කවදා හරි දවසක බලාපොරොත්තුවක් හිතුවේ වත් නැති විදිහට කෑලි කෑලි වෙලා ගිහිං ආපහු හිතුවේවත් නැති විදිහකට එකතු වෙනවා කියලා හිතන්න. මේකත් හරියටම ඒ වගේ කතාවක්. ඒකයි මුලිනුත් කිව්වේ. මට මේක පටන් ගන්න විදිහක් හිතාගන්න බෑ කියලා.

ඒ මානුෂීය මෙහෙයුමේ අන්තිම දවස (2009.05.17). සතුරාගේ පරාජයට ඉතුරු වෙලා තිබුණේ මීටර 200ක විතර පරතරයක්. පුදුමාතලන් හරියෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. යුද්ධයේ ඉතාම බිහිසුණුම අවසාන තත්ත්පරයේදී කෝප්‍රල් තරිඳු ඒ ත්‍රස්ත ප්‍රහාරට ගොඳුරු වෙනවා. එදා හවස් වරුවේ අපි යුද්ධය ජයග්‍රහණය කරනවා. හතර වටින්ම අලුත් හාල් කිරි උතුරුවන සතුටු කඳුළුවලින් පිරෙද්දි පන්නිල, ගෝනමුල්ල ගමටත් ඒ සතුට ඒ විදිහටම දැනුණා.

ඒත් තරිඳුගෙ ගෙදර එදා බතක් ඉඳුණේ නෑ. ත්‍රස්ත ප්‍රහාරයට ලක්වෙන තරිඳුගේ තුනටිය පහළ ප්‍රදේශයට දැඩි හානි සිද්ධ වෙනවා. කාගෙත් හිත් හොරාගන්න තරම් කඩවසම් පෙනුමක් තිබුණු තරිඳු පූර්ණ අබාධිත තරුණයෙක් බවට පත් වෙලා. හීන කියන්නෙම තරිඳු බයෙන් බිරාන්ත කරවන තරම්ම නපුරක් වෙලා. තරිඳුගේ ජීවිතය ක්‍රමයෙන් ජීවත්වෙන්න වාසනා කරනවා. ඒත් තරිඳු හීන දකින්න බයයි. තුවාල වෙලා අවුරුදු දෙකක් විතර ඔහොම ගත වෙනවා.

හෙමින් හෙමින් තරිඳු රෝද පුටුවේ ජීවිතයට ආදරය කරන්න ඉගෙන ගන්නවා. හිතට පාළුවක් දැනෙන වෙලාවකට ගෙදර මිදුල ඉස්සරහට වෙලා ඉස්සර හක්කලං ගහපු ගස් ගල් දිහා සරුංගල් පූට්ටු දාපු අහස දිහා බලාගෙන ඉන්නවා.

උදේ හවස මිදුල ඉස්සරහ පාරෙන් එහා මෙහා යන ගමේ කට්ටිය තරිඳු දැක්කම හිනා වෙලා කතා කරලා යනවා. ඒත් ඒ අය දුවන්නේ ඒ අයගේ ජිවිත එක්ක තරගයක හින්දා “අනේ පව් ලස්සන කොල්ලා” කියලා ඉතුරු කරපු අනුකම්පාවක් විතරයි එයාලට තිබුණේ. ඒත් දිස්නාට නම් තරිඳු ගැන හිතට දැනුණේ අනුකම්පාවක් නෙවෙයි. දිස්නා රස්සාව කරපු ම්.ර්.ච්. ෆැක්ටරි එකට යන්න පාර වැටිලා තිබුණේ තරිඳුලාගෙ ගෙදර ඉස්සරහින්, උදේ හවස වැඩට යන එන දිස්නාටත් නොදැනිම දිස්නාගේ ඇස් හෙව්වේ තරිඳු අයියව. හිත් කියන්නෙම මහ පුදුමාකාර ජාතියක්. දිස්නා වැඩට යනකම් මඟ බලාගෙන ඉන්න තරිඳු හෙව්වේ දිස්නගේ අහිංසක හිනාව. ඒ හිනාවත්, දෑසත් වැඩි කලක් ගත වෙන්න කලින් බරපතළ විදිහට අනතුරට ලක්වෙනවා. ඒක හදවතටම කි¼දා බහින තරම්  අනතුරක්. සමහරු ඒකට කිව්වේ “ආදරය” කියලා. ඒත් දිස්නා නම් ඒකට කියන්නේ “සීමාවක් නැති ආදරය” කියලා.

දිස්නාගේ හදවතේ රාජධානිය තරිඳු වෙනුවෙන් විවර වෙද්දී තරිඳු ආපහු සැරයක් හීනවලට ආදරය කරන්න පටන් ගන්නවා.

“මගේ අයිය විතරක් නෙවෙයි, රණවිරුවෝ රටට කරපු සේවය අමතක කරන්න බෑ.” දිස්නාගෙ අහිංසක ඇස් මගේ දිහා බලාගෙන එහෙම කියද්දි අවුරුදු 27ක් තරම් නෑඹුල් යෞවනියක් ජීවිතය දිහා මෙහෙම බලන්නේ කොහොමද කියලා මට හිතෙනවා. “මම සරලයි. මට අහස උසට ලොකු හීන නෑ.. අයියත් එක්ක ගත කරන ජීවිතය තමයි මගේ සතුට. මගේ හීනය..”

හැඟීම් වචන බවට හරවලා ඇය එහෙම කියද්දි දිස්නාගේ අහිංසක හිනාව ඒ අස්සෙන් එබිල බලනවා. දිස්නා ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒක ඇස්වල අංජන, කුංකුම නොතැවරුණු හදවතේ ආලෝකයෙන් දැල්වුණු ලස්සනක්.

“අපි මේ 24 වැනිදා බඳිනවා. “සියනෑවේ අපි” සංවිධානයත්, කුරුණෑගල විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයත් එකතු වෙලා ඒ හැම දෙයක්ම ඉෂ්ට කරන්න අපිත් එක්ක ඉන්නවා. එහෙම වෙලාවට හිතෙනවා මිනිස්සුන්ට තාමත් ටිකක් හරි අපි ගැන හිතේ තියෙනවානේ කියලා.”

තරිඳු එහෙම කියද්දි එයා බලන් හිටියෙ දිස්නාගෙ හිනාව දිහා... ඒ හිනාව ඔය විදිහටම ලස්සන වෙලා තරිඳුගෙ හීන මාලිගාව එළිය කරන්න හැමදාම ළඟින් ඉන්න ඕන.

අපේ කතාව ඊළඟට පටන් ගන්නෙ මෙහෙම,

“ජීවිතය ආපහු සැරයක් පටන් ගන්න පුළුවන් වෙයි කියල දැන් හිතෙනවා.” කෝප්‍රල් ප්‍රේමසිරි හෙමි හෙමින් වචන මුමුණනවා. 2009.02.03 වැනිදා මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මොළයේ ස්නායූවලට බරපතළ හානි සිදුවෙලා දැන් ප්‍රේමසිරිගේ අතකුයි, කකුලකුයි අප්‍රාණිකයි.

“මගේ අයියගෙ අඩුපාඩු තියෙන්නෙ පිටට පේන්න විතරයි. හදවතින් මගේ අයිය ගොඩක් ලොකු ජයග්‍රාහකයෙක්.”

ඒ චන්දිමා, වයස අවුරුදු 23යි. ජීවිතය මහ ගොඩක් අභියෝග මැද්දේ බාරගත්ත කෙනෙක්. ඒත් ප්‍රේමසිරි කියන්නේ චන්දිමාගෙ ජීවිතයට තවත් එක අභියෝගයක් නම් නෙමෙයි.

“අනුකම්පාව වෙනයි. ආදරය වෙනයි. ආදරය කියන හැඟීම තිබ්බොත් ඒක ජීවිත කාලයටම ඒ විදිහට තියෙනවා.”

මේ චන්දිමාගේ වචනමයි. ඒ වචන ඇතුළෙන් මම චන්දිමාව හොයාගත්තා. චන්දිමා කියන්නේ ප්‍රේමසිරිවත් කරේ තියාගෙන යුද්ධෙකට වුණත් යන්න පුළුවන් හදවතක් තියෙන යෞවනියක්.

අනතුරින් පස්සේ රාගම යුද හමුදා විශේෂ රැකවරණ මධ්‍යස්ථානයෙන්, ප්‍රේමසිරිගේ ජීවිතය ආපහු වතාවක් නැගිට්ටවාගන්න සියලු ධෛර්යය, ශක්තිය ලබාදෙනවා. ඒ ගැන ප්‍රේමසිරි මතක් කරන්නේ. හදවතේ ගැඹුරුව තැනක තියාගෙන. ඔය අතරේ 2015.05.29 චන්දිමා ප්‍රේමසිරිගේ ආදරය පිළිගන්නවා. ගතින් වාරු වෙවී නැගිටින්න උත්සාහ කරපු ප්‍රේමසිරිගේ හිත ආපහු වතාවක් හුස්මගන්න පටන් ගන්නවා.

ඒ හුස්මවලට පණ පොවන්නෙ චන්දිමාගේ ආදරය.

මම කලිනුත් කිව්වනේ, චන්දිමා කියන්නේ සීනි බෝල, ටොපි, චොකලට් වගේ ජීවිතය දිහා බලන කෙනෙක් නෙවෙයි. ඒ කෙල්ල ජීවිතය දිනුවේ තමන්ගේ උත්සාහයෙන්මයි. ආන්න ඒක හින්දා ප්‍රේමසිරි ගොඩක් වාසනාවන්තයි.

හරි නම් අපෙන් වැටෙන හැම හුස්ම පොදකම සින්නක්කර අයිතිය ප්‍රේමසිරිලට තමයි. හැබැයි දැන් ප්‍රේමසිරිව සින්නක්කරයටම අයිතියට අරගෙන චන්දිමාගේ ආදරේ. ලබන 24 වැනිදා ඒ ආදරේ එක වහලක් යටට එකතු වෙන දවස.. චන්දිමා ආදරෙන් ප්‍රේමසිරි දිහා බලන් ඉන්නවා. හදවතේ නළියන හැමදේම මං ඉස්සරහදි පිට කරන්න තිබුණු ලැජ්ජාවටදෝ මන්දා ප්‍රේමසිරි බිම බලාගෙන හිනා වුණා.

“එයා සැර නෑ, සැර වුණාම සැරයි.”

එහෙම කිව්වේ නිශාන්ති. වයස අවුරුදු 24ක තරුණියක්. මේක තවත් කතාවක්.

නිශාන්තිගෙ අක්ක බඳින්නෙ මාතලෙන්. කේතලෙන් මල්ලක් ගේන්නෙ නැතුව කේතලේට මල්ලක් යවන කතාවකින් තමයි මේ ආදරේ පටන් ගන්නේ. නිශාන්තිගෙ අක්ක බැන්දෙ සම්පත්ගෙ අයිය. සැරයන් සම්පත් ක්‍රියාන්විතයෙ ඉන්නකොට යාපනේ නාගර් කෝවිල්වලදි හතුරන්ගෙ මෝටාර් ප්‍රහාරයකින් අනතුරට ලක් වෙනවා. මොළයට සිද්ධ වෙන හානියෙන් සම්පත්ගෙ ශරීරයේ වම් අංශය අප්‍රාණික වෙනවා.

“මෙයාලා උපතින් මෙහෙම වුණේ නෑ. අපරාධයක් කරන්න ගිහිං මෙහෙම වුණේ නෑ. ඒත් සමාජයෙ පුද්ගලයෝ මෙයාලා දිහා බලන්නේ විවිධ අදහස්වලින්. හැබැයි එයාලා නිසා තමයි අපි අංග සම්පූර්ණ වෙලා ජීවත් වෙන්නේ.”

නිශාන්ති ඒ වෙලාවේ හුඟක් හැඟීම් බර වුණා.

ජීවිතේ අපි ඕනෑ තරම් පරිත්‍යාග කරනවනේ. කොහොමත් ලංකාවෙ අපි කියන්නෙ පරිත්‍යාගශීලී බව උපරිමයටම තියෙන ජාතියක්.

හැබැයි නෑයෝ, නොනෑයෝ හැමෝම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න තරම් අපි හැමෝගෙම හිත් උදාරතර නෑ. සම්පත් කියන්නේ ආන්න ඒ උදාරතර අය අතරින් කෙනෙක්.

“අනතුරින් පස්සේ සම්පත්ව නැවත යථා තත්ත්වයට පත් කරන්න රාගම විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක් සිදු කළ අපරිමිත කැප කිරීම් නම් මිල කරන්න බැරි තරම්. ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව වගේම ඒ අදහස් සංකල්පවල නියමුවන්ව මේ වගේ තැනකදී සිහිපත් කළේ නැත්නම් ඒක ලොකු අඩුවක්.”

නිශාන්ති එහෙම කියනකොට සම්පත් දෙපාරක් තුන්පාරක් ඔළුව වැනුවේ තවමත් හරිහැටි වචන ගළපාගන්න අපහසු හදවතේ තෙරපෙන හැඟීමත් එක්කයි.

අපේ කතාවේ පසුබිමේ වටපිටාව දැන් පුදුම කාර්යය බහුලයි. එක තැනක ර්භඵඪජ ඕචදඤ එකක් ඉබචඨඥඑක ලෑස්ති කරනවා.

තවත් තැනක විදුලි ලාම්පු, මේස, පුටු සැරසිලි, කොළ පාට, කහ පාට කොඩි ගස් පේළියට පේළියට හිටවනවා.

ඔය අතරේ යුද හමුදාවේ විවිධ නිලයන් එකට එකතු වෙලා කතාබස් කරන හඬ උස් පහත් වෙනවා.

සමහරෙක්ට මේක තමන්ගේ දුව පුතාගේ මංගල්ලයක් තවත් සමහරෙක්ට තමන්ගේ සහෝදරයාගේ, සහෝදරියගේ. මේ අතරේ යුද හමුදාවට මේක තමන් හැදු වැඩූ දරුවාගේ මංගල්ලයක්. යුද්ධ හමුදාව කියන අම්මාගේ තුරුලේ උණුසුමත්, දයාවත්, කරුණාවත් එක හා සමානව විඳගත්තු මේ හැමෝම ගැන අපි දන්නේ පිටින් පේන හමුදා නිල ඇඳුමේ පාටින්, තරුවෙන් විතරයි.

ඒත් ඒ යුද්ධ හමුදාව කියන්නේ යුද්ධයට වාගෙම ආදරයටත්, ප්‍රේමයටත් සන්නාහ සන්නද්ධ උතුම් මිනිස්සු පිරිසක්. එළඹෙන ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන සුබ නැකතින් දිස්නා - තරිඳු, චන්දිමා - ප්‍රේමසිරි, නිශාන්ති - සම්පත් යුග දිවියට එළඹෙනවා ඇති.

ඒ ඔවුන්ගේ ප්‍රේමයට ශක්තියක් වෙන්නට ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය හරහා මේ මොහොතේ සියලු කටයුතු සම්බන්ධීකරණය වෙනවා. කුරුණෑගල බෝයගනේ යුද හමුදා මධ්‍යස්ථානයේ “ද සැලියුට්” උත්සව ශාලාව මා මේ සටහන ලියන මොහොතේත් ඒ කටයුතු වෙනුවෙන් සැරසෙන අපූරුව පැසසිය යුතුම කාරණයක්.

ඒ සියල්ල එහෙම සිද්ධ වෙනකොට ආපහු කතාවේ මුලට ටිකක් යමුද. එක්තරා දවසක එක පුංචි මිනිසෙකුගේ සිතුවිල්ලකින් එක්තරා සංවිධානයක් බිහිවෙනවා.

ඒ සංවිධානයේ නම “සියනෑවේ අපි”. 2012 වර්ෂයේ පටන් බිහිවුණු මේ සංවිධානය මඟින් පූර්ණ අබාධිත තත්ත්වයට පත් වූ අවශ්‍යතා සහිත පුනරුත්ථාපන ලාබී රණවිරුවන් සඳහා විවාහ මංගල උත්සව සංවිධානය කිරීම සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වීම සිදුවෙනවා. මේ ඔක්තෝබර් 24 දින සිද්ධ වෙන්නේ ඒ විදිහට හත් වන වරට සංවිධානය කරනු ලැබූ විවාහ මංගල උත්සවය. මේක පුංචි සිතුවිල්ලකින් ඉපදුණු උදාරතර ක්‍රියාවක්. “සියනෑවේ අපි” සංවිධානය කිසිම ලාභයක්, ප්‍රචාරයක් අරමුණු කර නොගත් සංවිධානයක්. වර්තමානයේ එහෙම මිනිස්සුත් ඉන්නවනේ නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඔව් එහෙම පිරිසක් තවමත් ඉන්නවා. එවැනිම පිරිසක් අපි වෙනුවෙන් වසර 30ක් තිස්සේ ජීවිතය පරිත්‍යාග කරලා සුරක්ෂා කළ නිදහසේ නාමයෙන් තවත් එවැනිම උතුම් මිනිසුන් පිරිසක් දේශයේ සුරැකිව ඉන්නවා.

ඒ මිනිසුන්ගේ ගොඩට එකතු වෙන්න ඔබත් කැමති නම් “සියනෑවේ අපි” 0777-916 144/ 0775-715 612 යන දුරකතන ඇමතුම්වලින් වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

“සියනෑවේ අපි” ඒකායන පැතුම තවත් එවැනිම වූ උතුම් හදවත් එකට එකතු වීමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශනය, අනුග්‍රහය සැපයීමට ඔවුන් සැමදා එක සිතින් බව කිය යුතුයි.

ඉතින් දවස මතකයි නේද?

ඔක්තෝබර් 24 වැනිදාට අලුත් හීනයක් පාට කරනවා.
ඔබේ මගේ අපේ ආදරෙන්
කතාව තවම ඉවර නෑ.. 
දැනුයි පටන් ගත්තේ...

-අනුපමා ගල්කඩවල
ඡායාරූප : ජගත් නානායක්කාර

Powered by Blogger.