'පත්තර කිව්වේ බොරු' - අගමැතිගෙන් චෝදනා. - Info Sri Lanka News | Sinhala

'පත්තර කිව්වේ බොරු' - අගමැතිගෙන් චෝදනා.


නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැතැයි අස්‌ගිරි මල්වතු මහානාහිමිවරුන් ප්‍රකාශ කළ බවට ඊයේ (19 වැනිදා) දිවයින, ලංකාදීප, ඩේලිමිරර්, ඇතුළු ජාතික පුවත්පත්වල පළ කර ඇති පුවත ජනතාව නොමඟ යෑවීමක්‌ බවත් ඒවා අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ විදේශගතවී ඇති මොහොතක උන්වහන්සේගේ ඡායාරූපය ද සහිතව එවැනි පුවත් වාර්තා පළ කිරීම අසාධාරණ බවත් එවැනි ප්‍රවෘත්තියක්‌ පළ කළේ ඇයි දැයි ඉහත පුවත්පත්වල කර්තෘවරුන්ගෙන් දුරකථන ඇමතුමක්‌ දී විමසා තමන්ට කියන ලෙසත් අගමැතිවරයා කියා සිටියේය.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු තරුණ සංවිධාන විසින් සිදු කරන ලද සමීක්‍ෂණයේ වාර්තාව අගමැතිවරයාට පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී භාරදුන් අතර එහිදී අගමැතිවරයා මේ බව පැවසීය.

දිවයින, ලංකාදීප වැනි පුවත්පත්වලින් එම අවස්‌ථාවේ මාධ්‍ය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කවුරුන්දැයි විමසමින් ඔවුනට සිය ප්‍රධාන කර්තෘවරුන්ට දුරකථන ඇමතුම් දී ඉහත කාරණා පිළිබඳව විමසන ලෙසද අගමැතිවරයා දැන්වීය. එහිදී අගමැතිවරයා මෙසේද කියා සිටියේය.

'නව ව්‍යවස්‌ථා කෙටුම්පත සකස්‌කරන අවස්‌ථාවේදී මේ යෝජනාත් අපි ඇතුළත් කරන්නම්. ලබන සතියේ වාර්තාව පිළිබඳව විවාදයක්‌ පවත්වා ඒ කටයුතු ඉදිරියට කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. මෙම වාර්තාව සක්‌කිරීම ගැන අපි එම තරුණ සංවිධානයට ස්‌තුතිවන්න වෙනවා.

මෙහිදී චෝදනාවක්‌ නැඟුණා ජනතාව නොමඟ යවනවා කියලා. ජනතාව නොමඟ යවන්නේ කව්ද? මම අද පත්තර හැම එකකම දැක්‌කා මල්වත්ත මහනායක හිමියන්ගේ පිංතූරය සමග පුවතක්‌. එය හරිද උන්වහන්සේ දැන් සිටින්නේ විදේශගතවෙලයි. ලංකාවේ නෑ. එහෙනම් පිංතූරය දැමීම අසාධාරණයි. දිවයින, ලංකාදීප, ඩේලිමිරර් ඒක කියන්න.'

(පුවත්පත් ගෙන්වා ගනී)

'මේ තියෙන්නේ පත්තර. නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නෑ කියලා මහනායක හිමිවරුන්ගේ පිංතූර දාලා. මේ ලංකාදීප, මේ ඩේලිමිරර් නව ව්‍යවස්‌ථාවක්‌ එපා දිවයින. කාටද එපා කියලා කියන්නේ.

කරුණාකරලා මේ දේවල් කරන්න එපා. ප්‍රධාන කර්තෘවරුන්ට දුරකථන ඇමතුමක්‌ දීලා අහන්න ඇයි මෙහෙම දැම්මේ කියලා.

ඇයි එහෙම දැම්මේ කියලා මට කර්තෘතුමන්ලාගෙන් අහලා කියනවාද? මේක නොමඟ යෑවීමක්‌ නේද? මහනායක ස්‌වාමීන් වහන්සේගේ අදහස්‌ උන්වහන්සේ පසුගිය දවසක හොඳට ප්‍රකාශ කර තිබුණා. තවම ව්‍යවස්‌ථාවක්‌ හදලා නෑ. උන්වහන්සේ ප්‍රකාශ කළා ජනාධිපතිතුමාත් මමත් කරපු ප්‍රකාශ පිළිගන්නවා කියලා.

දිවයින, ලංකාදීප බැලුවහම අද මොනවාද මේ ලියලා තියෙන්නේ. මේවා කැඳවලා සාකච්ඡා පැවැත්තුවේ දියවඩන නිලමේ නම් එතුමාගේ පිංතූරය දාන්න ඕනෑ. මම කියන්නේ නොමඟ යවන්න එපා. මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ තියෙනවා නම් ඒවා දාන්න ඒක ප්‍රශ්නයක්‌ නෑ. ඇයි මේ මාධ්‍ය බොරු කරන්නේ? ඇයි දිවයින මේවා පළ කරන්නේ. කරුණාකරලා කර්තෘතුමාගෙන් අහලා මට කියන්න. දැන් කියන්න අද මගේ මේ කතාව දාන්නේ මුල් පිටුවේද වෙන පිටුවකද?

මල්වත්ත, අස්‌ගිරිය මහානායක හිමිවරුන්ගේ අදහස්‌ කියලා දාලා මොනවාද මේ කරන්නේ. මල්වත්ත මහානායක හිමි රටේ නැතිව මුල් පිටුවේ දැම්මා නම් මම රටේ ඉන්න නිසා මගේ කතාව හෙඩ්ලයින් දානවාද? මොකක්‌ද මේ සෙල්ලම ජනතාව වරමක්‌ දුන්නනේ ඒක මාධ්‍ය පිළිගන්නේ නැද්ද?'

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි කීම මල්වතු පාර්ශවයේ තීරණය නොවේ

නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවට මල්වතු අස්ගිරි අනුනානයක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් මුණ ගැසී සාකච්ඡා කළත් එය මල්වතු පාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය නොවන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහන්සේ හා ශ්‍රීදළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත් උන්වහන්සේ කීහ.ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු බවත් සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

අදාළ සාකච්ඡාව පවත්වන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් බවත් එහි අවසන් තීන්දුව මහනාහිමිවරු විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.අදාළ තීන්දුව මහනාහිමි අනුමත කරන තුරු පාර්ශවයේ තීන්දුවක් ලෙස එය සැලකීම නිවැරදි නොවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැකි වන්නේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය බවත් විමලධම්ම හිමියෝ කීහ.



Share on Google Plus