මැතිවරණ වියදම් පාලනයට ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්.


නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් හා මැතිවරණ සඳහා යන වියදම් පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ (17දා) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කොට තිබේ.

ඊයේ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව අවධාරණය කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට පාර්ලිමේන්තුව තුළද එකඟතාවක් ඇති වී ඇති බවද සමරසිංහ ඇමැතිවරයා පැවැසුවේය.

එහිදී අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද පැවැසුවේය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කවුරුත් එකඟයි. මැතිවරණයක් පවත්වනවා නම් මුදල් වියදම් කිරීම පිළිබඳව යම්කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. මැතිවරණවලට යොදන මුදල් පාලනය කරන්නත් එම නීති කඩන අයට එරෙහිව ක්‍රියා කිරීමටත් නීති රීති සම්පාදනය කරන්නටත් ජනාධිපතිතුමා මේ කැබිනට් පත්‍රිකාවෙන් අවධානය යොමු කරලා තිබෙනවා.

මෙවැනි ක්‍රමවේදයන් ඉන්දියාවේ තිබෙනවා. ඒ රටේ මැතිවරණයක් තියෙනවා නම් ඒ රටේ මැතිවරණ කොමසාරිස්ට විශාල බලයක් තිබෙනවා. නිලධාරීන්ටත් එහෙමයි. ඔවුන් මැතිවරණවලට කොතරම් මුදලක් යනවද කියලා පරීක්ෂා කරනවා. ඒ නිසා දේශපාලකයනුත් ප්‍රවේසම් වෙනවා. මේ නීති වෙනස් කිරීම් වචනවලට පමණක් සීමා කරලා බැහැ. මේ නීති අපේ රටටත් ගැළපෙන විදිහට හදන්න ඕනේ. ඒ නිසයි ජනාධිපතිතුමා මේ කැබිනට් පත්‍රිකාව අරගෙන ආවේ.

මෙය ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇමැතිවරයා කීවේය.

Powered by Blogger.