විද්‍යා ඝාතනයට 7ක් පෝරකයට ! (update)


 යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටු ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (27) නියෝග කරනු ලැබීය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ප්‍රකාශ කළහ.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි  හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කිරීමෙන් තීන්දුව ප්‍රකාශ කෙරිණ.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා හා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා විසින් තීන්දුව ප්‍රකාශ කළ අතර ඝාතනට සම්බන්ධ 02 වැනි විත්තිකරු පූබාලසිංහම් ජෙයකුමාර්, 03 වැනි විත්තිකරු පූබාලසිංහම් තවකුමාර්, 04 වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂිදරන්, 05 වැනි විත්තිකරු වන තිල්ලේනාදන් චන්ද්රහාසන්, 06 වැනි විත්තිකරු වන ශිවදේවන් දුෂාන්තන් නොහොත් පෙරියම්බි, 08 වැනි විත්තිකරු ජෙයදරන් කෝකිලන් හා 09 වැනි විත්තිකරු මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තා වෙත මෙසේ මරණ දණ්ඩණය ලබාදීමට නියෝග කරනු ලැබීය.

ඝාතනයට සම්බන්ධ විත්තිකරුවන් වන පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මහාලිංගම් සෂින්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන සැකකරුවන් 09 දෙනා  සම්බන්ධයෙන් තීන්දුව ප්රකාශය කෙරිණ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම් මහතා, ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් මහත්මීහු පෙනී සිටියහ.

සිද්ධියට සම්බන්ධ  01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ  සහ නීතීඥ මහින්ද ජයවර්ධන මහත්වරු ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ   රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

යාපනේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගවූ පළමු නඩුව

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වැනි පටුමග ප්‍රදේශයේදී 2015 මැයි මස 13 වැනිදා පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබිණ.

ඝාතනය සැළසුම් සහගතව සිදුකොට ඇති බැව් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් සදහන් කරනු ලැබීය.

අධිකරණ ඉතිහාසයේ පළමු වරට යාපනය මහාධිකරණය තුළදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග කරනු ලැබීය.

ඝාතනය සම්බන්ධයෙන් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විමර්ශනය යාපනය මහාධිකරණයේදී ජුනි මස 12 වැනිදා ආරම්භ කෙරිණ.

ඝාතනය සම්බන්ධයෙන් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණයේදී යාපනය, කයිට්ස්, පුන්කුඩිතිව් ප්‍රදේශයේදී වයස අවුරුදු 18 ක් වු ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීම සැළසුම් සහගතව සිදුකොට ඇති අතර, දැරිය අපයෝජනය කරන අයුරු රූගත කොට විදෙස් රටවලට විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත පැවසීය.

එසේම දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනය  කර ඒවායේ දර්ශන පටිගත කර   අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවද ඔහු කීය.

ලිවේරා මහතා වැඩිදුරත් අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක මුදලක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක්ද  තිබි ඇති බවද හෙළිකළේය.

12න් 09කට අධි චෝදනා

වසර 2015 මැයි මස 13 වැනිදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින්  අධි චෝදනා ගොනු කරනු ලැබ තිබිණ.

පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයක්කුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තන් වෙනුවෙන් අධි චෝදනා ගොනු කොට තිබිණ.

නියොජ්ය සොලිස්ටර් ජෙනරාල් කුමාර් රත්නම් මහතා සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සිව් දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.    

පෝරකයට ගිය අයට ඇති චෝදනා

පළමු, දෙවැනි, තෙවැනි, පස්වැනි සහ සයවැනි සැකකරුවන්ට එරෙහිව පැහැරගෙන යාම, අපයෝජනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනා එල්ල කර ඇති අතර   සිව්වැනි,හත් වැනි, අට වැනි සහ නව වැනි සැකකරුවන්ට එරෙහිව අපරාධයට සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කොට  තිබිණි.

නඩු විභාගයේදි වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසූවේ සැලසුම් සහගතව  පැහැරගෙන ගොස්, අපයෝජනය   කර විද්‍යා සිසුවිය ඝාතනය කර ඇති බවයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණ බවද කී ලිවේරා මහතා  මෙය යාපනය  පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වූ බවත්,  ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබු බවත්,  ඒ අනුව  මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගැනීමට හැකිවූ බවද කීය.

ඔහු මෙසේද පැවසීය.

“ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි.”

“ අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහා දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර  සිදු කළ අපරාධයක්. මීට ජාත්යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මේ නිසා මේක ජාත්යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්.”

“මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා. සිසුවිය   අපයෝජනය කිරීම වීඩියෝ  කර ජාත්යන්තර වෙළඳපොළට  විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා.”

“විද්‍යාගේ පියා අංශභාග රොගියෙක් ” - විද්‍යාගේ මව

විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය නඩු විභාගය වෙනුවෙන් සාක්ෂි ලබාදෙමින් මෙලෙස සදහන් කළාය.

‘මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර  වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අපහසුයි."

"සිද්ධිය සිදුවූ දින උදෑසන විද්යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ, පාසලත් වහල කියල දුරකතනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන්  පොලිස් මුරපොල වෙත පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපි කයිට්ස් පොලිසියට ගියා.
ඒ අනුව රෑ 8ට විතර කයිට්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි. ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ.

“පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්රීරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි  ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද (සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා. රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා.”

“මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මලසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිට්ස් පොලිසියේ නිළධාරීන් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා.”

පරීක්ෂණය කළ SI සිල්වාට කෝටි 2ක අල්ලසක් !

ඝාතනයට අදාළව පරීක්ෂණ මෙහෙයවු රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා යාපනය මහාධිකරණයේදී නඩුවට අදාළ සාක්ෂි ලබාදෙමින් පැවසූවේ,
යාපනය,පුංකුඩිතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්යා දැරියගේ ඝාතනය නාවික හමුදාව හා වෙනත් ආරක්ෂක අංශයක් විසින් සිදුකළ බවට චෝදනා කරමින් අදාළ ඝාතනය ආරක්ෂක අංශ සිදුකළ බවට චෝදනා කිරීමට සැකකරුවන් උත්සහයක් ගෙන තිබුබවයි.

දැරියගේ ඝාතනය සිදුවු ස්ථානයට කිලෝමීටර දෙකක පමණ දුරකින් නාවික හමුදා කදවුරක් පිහිටා තිබීම හේතුවෙන් ඝාතනය නාවික හමුදාව සිදුකළ බවට චෝදනාවක් එල්ල කොට තිබු බවද ඔහු කීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී හයවන විත්තිකරුගේ නිවසේ තිබි දැරියගේ උපැස් යුවළ සොයා ගත් බවත්, අදාළ උපැස් යුවළ පරණ කලිසමක ඔතා තිබුන බවද සිල්වා මහතා පැවසුවේය.

එලෙසම සැකකරුවන් වවුනියාව බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී ඉෆ්තාප් නමැත්තෙකු දුරකථන මාර්ගයෙන් කථාකොට සිද්ධියට සම්බන්ධ 09 වැනි විත්තිකරු හා 04 වැනි විත්තිකරු රජයේ සාක්ෂිකරුවන් කරන ලෙසට ඉල්ලීම් කළ බවත්, ඒ සඳහා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදෙන බවට අල්ලස් ලබාදීමට උත්සහ කළ බවත් සිල්වා මහතා අධිකරණය හමුවේ පැවසුවේය.

ස්විස් කුමාර් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් උප පොලිස් පරීක්ෂක ශ්‍රීගජන් නිළධාරියා සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙලෙස පැවසූවේය.

 “ මම කෝවිලක ඉන්නනකොට පොලිසියේ ශ්‍රීගජන් මහත්තයා මගේ දුරකථනයට කෝල් කරලා තිබ්බා. එතකොට මගේ යාළුවෙක් තමයි ෆෝන් එක ආන්සර් කරලා තිබුණේ. ශ්‍රීගජන් මහත්තයා එහිදි මගේ යාළුවාට කියලා තිබ්බා මට කථා කරන්න කියලා.
මම කෝවිලේ උත්සවය ඉවරවෙලා ශ්‍රීරිගජන් මහත්තයාට කථා කරා.එයා කිව්වා මාව හම්බවෙන්න ඕනේ කියලා.”

"එහෙම කියලා මැයි 17 වැනිදා ශ්‍රීගජන් මහත්තයා අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මාව ආරක්ෂා කරන්නම් කියලා. අපිට එයාගේ වාහනයේ එන්න කියලා කිව්වා. අපි ඊට පස්සේ මම මගේ සහෝදරයයි තවත් හතරදෙනෙක් එක්ක පොලිසියට ගියා.එහිදි ශ්‍රීගජන් මහත්තයා මගේ සහෝදරයා ඇතුළු හතරදෙනෙක් අත්අඩංගුවට අරගෙන මට යන්න කියලා කිව්වා. මම ඇහුවා මගේ අනෙක් පිරිස අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා.ඒවේලාවේ එයා කිව්වා කොහේ හරි යන්න කියලා.ඊට පස්සේ මට බය හිතුනා ආයේ ගමට යන්න. පස්සේ මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බස් එකක නැගලා කොළඹ ගියා.”

-මාධව කුලසූරිය වව්නියාව වාර්තාකරු

Share on Google Plus