ජනපති හාල් මිල බස්සා පොල් අඩුවට දෙයි.


සහල් මිළ ගණන් පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ උපදෙස් දී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ ගණන් පිළිබඳ ඊයේ රාත්‍රි පැවති විශේෂ සාකච්ඡාවකදීය.

විදේශයන්හි මිළ ගණන් නොසලකා රජය මැදිහත්වී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් ආනයනයට පියවර ගන්නා ලෙස ද ජානධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

මීට අමතරව සතොස මගින් අලෙවි කෙරෙන සියලු සහල් වර්ග වල මිළ අද සිට අඩු කිරීමට නියෝග කළ ජනාධිපතිතුමා එම මිළ ගණන් අද දිනයේම ප්‍රකාශයට පත් කරන ලෙසද එම සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් මිළ පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද සිරිසේන මහතා මෙහිදි පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.

පොල් මිළ අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ලබන සඳුදා සිට අතරමැදියන්ගෙන් තොරව ජංගම රථ යොදවා ජනතාවට අඩු මිළට පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා පොල් වගා කිරිමේ මණ්ඩලයට එම සාකච්ඡාවේදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී උපදෙස් දී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර පානවල මිළ ගණන් සම්බන්ධයෙන් සතිපතා රැස්වී සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Share on Google Plus