කිසි පිළිවෙළක් නැති, කොහුවල.


කොළඹට නුදුරු දෙහිවල මැතිවරණ කොට්ඨාසයේ ඉතා ජනාකීර්ණ උප නගරයක් වන කොහුවල මංසන්ධිය හිමිදිරි අලුයම සිට මධ්‍යම රාත්‍රිය දක්වා එක සීරුවට මහජනයාගෙන් සහ රථවාහන සතර අතට පොදි ලෙස ගැවසෙන ඉතා කාර්ය බහුල ස්ථානයකි.

හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයද අනෙක් පසින් දෙහිවල ගාලු පාරට සහ නුගේගොඩ හයිලෙවල් පාරට එකතුවන කළුබෝවිල රෝහල පාර පිහිටා ඇත. කොහුවල හන්දියට ආසන්නව ඇති ජාතික පාසල්, මහ විදුහල් මෙන්ම ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසල් හා බාහිර අධ්‍යාපන මධ්‍යස්ථාන බොහොමයක් කොහුවල නගර මධ්‍යයේ සහ අවට පිහිටා ඇත. මෙම අධ්‍යාපන ආයතනවලට අධ්‍යාපනය හැදෑරීමට පාසල් දරු දැරියන් දහස් ගණනක් පැමිණෙන්නේ මඟී ගමනා ගමන සේවාවලිනි. කොහුවල මං සන්ධිය අවට බස් නැවතුම් ස්ථාන 6ක් පමණ පිහිටා ඇති අතර මාර්ග අංක විස්සකට වැඩි ප්‍රමාණයක බස්රථ මෙම ස්ථානවල නවත්වනු ලබයි.

අතුරුසිදුරු නොමැති බස් රථ සහ මඟීන් විශාල ප්‍රමාණයක් බස්රථ සේවාව ලබා ගැනීමට සිටියත් අව්වට සහ වැස්සටවත් ආවරණයක් ලබාගැනීමට තරම් ස්ථානයක් නොමැති මෙම ප්‍රධාන මංසන්ධියෙහි අඩු පාඩු බොහොමයකි.

එදිනෙදා පාසැල් දරුවන්, රාජකාරිවලට යන ශ්‍රමිකයින් ද දකුණු කොළඹ ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් මෙන්ම කොහුවල නගරයට ඉතා ආසන්නව පිහිටි නුගේගොඩ නගරයට අවට ප්‍රදේශවාසීන් ගමන් ගන්නේද කොහුවල නගරය හරහා වුවත්, හදිසි අවශ්‍යතාවකට හෝ පිපාසයට වතුර උගුරක් බොන්න ජල කරාමයක් වත් නොමැත. උප තැපැල් කාර්යාලය පිහිටා ඇත්තේ පීටර් පෙරේරා මාවතේ ගෙයක කාමරයකය. ග්‍රාමසේවා නිලධාරී කාර්යාලය පිහිටා ඇත්තේ කොහුවල නගරයට ක‍ිලෝමීටර් බාගයක් පමණ දුරින් හොරණ පාරේ පිහිටි කඩකාමරයකය. රථවාහන හැසිරවීමට මාර්ග සංඥා එළි සහිත විද්‍යුත් අංග තිබුණද හන්දිය තුළ නිරතුරුවම පවතින වාහන තදබදයට නිසි විසඳුමක් ලැබී නොමැත.

එයට හොඳම නිදසුන සවස් වරුවේ රෝහල දෙසට පවතින වාහන තදබදයයි. මෙම වාහන තදබදය නිසාවෙන් මාර්ගයේ පයින් ගමන් ගන්නා පදිකයන් ද දැඩි අපහසුතාවට පත්වේ. තවද කොහුවල නගරය වටා පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මෙන්ම සුපිරි වෙළෙඳසැල් නිසාවෙන්ද ජනයා මෙන්ම රථවාහන ද බහුලව පැමිණීම සිදුවේ. ක්‍රමවත් මාර්ග හැසිරවීමක් මෙම මං සන්ධිය තුළ නොමැති වුවත් කොහුවල පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ මං සන්ධියේ සිට මීටර් 10, 12 ක් පමණ දුරිණි.

Share on Google Plus