ආණ්ඩුවේ මැතිවරණ කාලසටහන මෙන්න - කොට්‌ඨාස නිර්ණයට 'Google' සහය.

ජනවාරි මාසය නිමාවීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට සහ මාර්තු මාසය නිමාවීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පාර්ලිමේන්තුවට පොරොන්දු වී ඇති බව කථානායකවරයා පවසයි.

ඊට අනුව අදාළ මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන ලෙස කතානායකවරයා අමාත්‍යවරයාට සහ මැතිවරණ කොමිෂන් සභාවේ හා සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත කැඳවා ඇති කථානායකවරයා ඔවුන් සමග පැවති   සාකච්ඡාවකදී එසේ උපදෙස් දී තිබේ.

කථානායක අනුමැතිය :

මේ අතර, පාර්ලිමේන්තුවේදී ඉකුත් අඟහරුවාදා සම්මත වූ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ අත්සන් තබා ඇත.

කිසියම් කෙටුම්පතක් බලාත්මක වන්නේ කථානායකවරයා මෙලෙස අත්සන් තැබීමත් සමගය.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ තුනෙන් දෙකකට වැඩි බහුතරයකිනි.

පළාත් සභා ඡන්ද විමසීම සමානුපාත හා කොට්ඨාශ මිශ්‍ර  ක්‍රමයට පැවැත්වීමට එමගින් විධිවිධාන සැලසෙනු ඇත.


පළාත් සභා කොට්‌ඨාස නිර්ණයට 'ගූගල්' සහය

මෙරට පළාත් සභා මැතිවරණ කොට්‌ඨාස නිර්ණය කිරීම සඳහා අන්තර් ජාලයේ ඇති ගූගල් සෙවුම් (ගූගල් මැප්) භාවිතා කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ගූගල් භාවිත කොට කොට්‌ඨාස නිර්ණය කටයුතු කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.


ඒ සඳහා තරුණ කණ්‌ඩායමක්‌ විදේශ ගත කිරීමට අවශ්‍ය නම් පහසුකම් සපයන්නැයි අගමැතිවරයා එම අමාත්‍යාංශයට උපදෙස්‌ දී ඇත.

Share on Google Plus