CID ඩුබායි යනකොට මධුෂ් වියට්නාමයට පැනලා.


කළුතර සිට මහර බලා ධාවනය වෙමින් තිබූ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් සහ කඩුවෙල සමයං නමැත්තා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම මෙන්ම, අපරාධ චෝදනා රැසක් ඇති මාකඳුරේ මධුෂ් නමැති පාතාල කණ්ඩායම් නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) ඩුබායි රාජ්‍යයට යන විට ඔහු වියට්නාමයට පැන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මධුෂ් නමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට ලද තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එරටට ගොස් ඇතත්, අදාළ නිලධාරීන් තමන් සිටින ස්ථානය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු දැනගෙන ඇතැයි හෙළිවීමෙන් පසු මධුෂ් වෙනත් රටකට ගොස් ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඩුබායි රාජ්‍යයට යන බව රහසිගතව තබාගත් කරුණක් වුව ද, එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයෙන්ම මධුෂ් නමැත්තා දැනගෙන ඇතැයි යන සැකය ද බුද්ධි අංශවලට ඇති වී තිබේ.

අංගොඩ ලොක්කා සහ ලඩියා:

මේ අතර ඔහුගේ ගෝලයන් දෙදෙනකු ලෙස හැඳින්වෙන අංගොඩ ලොක්කා සහ ලඩියා නමැති සැකකරුවන් දෙදෙනා ද ඉන්දියාවෙන් අතුරුදන් වී ඇතැයි පසුගිය සතියේ පුවත්පත් වාර්තා කර තිබිණි.

මධුෂ් නමැත්තා තමන්ගේ මේ ගෝලයන් ද වියට්නාමයට ගෙන්වා ගත්තේ ද යන සැකය මතු වන බවත්, මේ හරහා ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයේ හැසිරීම පිළිබඳ මෙරට පොලීසියට කදිම පාඩමක් ඉගෙන ගන්නට ලැබී ඇති බවත් සඳහන් කරන ආරක්ෂක අංශ විශ්ලේෂකයන්, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම මීට වඩා සූක්ෂ්ම ලෙස කළ යුතුව ඇති බවයි.

එසේ ම සංවිධානාත්මක අපරාධ ජාත්‍යන්තරකරණය වී ඇති ආකාරය ඉදිරියේ දී භයානක තත්ත්වයක් දක්වා තල්ලු වනු ඇතැයි ද ඔවුහු අවධාරණය කරති.

(SLM)

Powered by Blogger.