මහේන්ද්‍රන් හෙට කොමිසමට - CEOගේ බෝනස්එක කෝටි 10යි.


මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඔහු හෙට (19දා)බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබාගැනීමට පසුගිය 13 වැනිදා තීරණය කළ බැඳුම්කර කොමිසම, ඒ සඳහා හෙට (19දා) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළේය. පිස්කල් නිලධාරීවරයෙකු විසින් අදාළ සිතාසිය මහේන්ද්‍රන් මහතාට බාරදී ඇති බවද වාර්තා විය.

බැඳුම්කර කොමිසමේ කටයුතු ආරම්භ කළ සමයේ සිටම කොමිසමේ සිදුවන්නේ කුමක්දැයි මහේන්ද්‍රන් මහතා විමසිල්ලෙන් පසු වූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන්ද පත් කළේය.


මේ අතර මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය අත්‍යවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ගැනීමට අවශ්‍ය බවට ඉදිරිපත් වූ කරුණුවලට අනුව,මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය ගැනීමට තීරණය කළ කොමිසම, ඔහුගේ සාක්ෂි ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි මගින් දැනුම් දී ඇත.

CEOගේ බෝනස්එක කෝටි 10යි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළිව තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති), ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප‍්‍රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා -  ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?

පිළි. මා දන්නේ නැහැ.

ප්‍ර. ඔබ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු හා එහි ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?

පිළි. ඔව්.

ප්‍ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?

පිළි. මා දන්නේ නැහැ.

ප්‍ර. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?

පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.

ප්‍ර. 2016 වසරේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?

පිළි. ඔව්.

ප්‍ර. ඔබ 2016 වසරේදී පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.

පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.

Share on Google Plus