හිටපු අගවිනිසුරු යලි උසාවි .


2017 සැප්තැම්බර් මස 20 දා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්‌ථාවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට වැරදි ආකාරයට අලුතින් ඇතුළත් කරන ලද සංශෝධන ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවා 1988 වර්ෂයේදී පාර්ලිමේන්තුවෙන් සම්මතවූ පළාත් සභා පනතට අනුකූලව මැතිවරණ පැවැත්වීමට පියවර ගත යුතු බවට මැතිවරණ කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඊයේ (28 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

නීතිපති පෙත්සමේ පළමුවැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයෝ 02 හා 03 වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පළාත් සභා මැතිවරණ පනතට ගෙනා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවා සම්මත වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු නමුත් ඒවා සියල්ල සම්පූර්ණයෙන්ම කපා දමා පනතට අලුතින් ඇතුළත් කළ සංශෝධන සහිත පනත් කෙටුම්පත අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ කථානායකවරයාට බලයක්‌ නැතැයි ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට වැරදි ආකාරයට අලුතින් එක්‌කළ සංශෝධනවලට කථානායකවරයා අනුමැතිය දී ඇත්නම් ඔහු කළ එම ක්‍රියාව නීති විරෝධී සහ බල රහිත බවට තීන්දු කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්‌ථාවේදී පළාත් සභා පනතට ඉහත කී ආකාරයට අලුතින් සංශෝධන ඇතුළත් කරන විට නීතිපතිවරයා ද ඒ අසල සිදුවූ සියල්ල බලා ගෙන සිට එම සංශෝධනවලට අනුමැතිය දිය හැකි බව කථානායකවරයාට දැනුම් දෙමින් ඒ පිළිබඳව ඔහු දරණ මතය ප්‍රකාශ කර ඇත.

නීතිපතිවරයා විසින් කථානායකවරයාට ලබා දුන් එම උපදෙස්‌ නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙසද අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා නීතිඥවරු කීප දෙනෙක්‌ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් කාර්යාලයට පැමිණ සිටියහ.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූවිට පෙත්සමේ කරුණු තහවුරු කරන්නේ කවුරුන් විසින් දැයි මාධ්‍යවේදීන් ඇසූ විට හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේ එම කාර්යය තමා විසින් සිදු කරනු ලබන බවයි.

කරුණු තහවුරු කිරීම සඳහා ලබන ඔක්‌. 04, 06 හෝ 09 යන දින තුනෙන් එකක පෙත්සම කැඳවන ලෙස තමා පෙත්සමෙන් ඉල්ලා ඇති බවද ඔහු කීවේය.

රජය විසින් 2017.07.07 දින ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව එය ස්‌ථාවර නියෝගවලට අනුව කාරක සභාවට යොමුකළ බවත්, එහිදී පනත් කෙටුම්පතේ පළමුවැනි පිටුවේ 

08 වැනි වචන පේළියේ සිට 12 පේළිය දක්‌වා කපා දමා ඒ තැන්වලට "එක්‌ සතියක්‌" හා "සති 04 ක්‌" යන වචන ඇතුළත් කිරීමට පළාත් පාලන අමාත්‍යවරයා යෝජනා කළ බවත්, ඔහු කළේ කාන්තා අපේක්‍ෂකයන් යන වචන වෙනුවට කිසිදු තේරුමක්‌ නැති එකී වචන දෙක ඇතුළත් කිරීම බවත්, ඔහු කළ යෝජනාව කාරක සභාවද අනුමත කළ බවත්, ඒ ආකාරයට සංශෝධන පනතේ වචන පේළි ගණනාවක්‌ම ඉවත් කළ බවත්, ඒ අන්දමට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලැබූ හා ක්‍රියාත්මක කළ යුතු වූ සංශෝධන රාශියක්‌ ඉවත් කළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ඒ අනුව බලන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුන්වැනි වර කියවීමේදී සම්මත වූවේ දෙවැනි වර කියවීමේදී සම්මත වූ සංශෝධන නොවන බවත් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්‌ථාදායක ක්‍රියාවලියට හා නීතියට පිටුපා ගත් ක්‍රියාමාර්ගයක්‌ බවත් පැහැදිලිය. 

නියමිත කාලසීමාව තුළ ඡන්ද විමසීම් පැවැත්වීම මැතිවරණ කොමසාරිස්‌ සතු රාජකාරි වගකීමක්‌ වන අතර එම යුතුකම පැහැර හැරීම ජනතාවගේ ස්‌වාධිපත්‍යය හා ඡන්ද අයිතිය නැති කිරීමකි. 

මැතිවරණ කොමිසම පිහිටුවනු ලැබූ දින සිට මේ දක්‌වා මැතිවරණ නොපැවැත්වීමෙන් ඔහු නරක වාර්තාවක්‌ පිහිටුවා ඇත. පළාත් පාලන ආයතන බොහෝමයක්‌ 2015 දී විසුරුවා හැරිය අතර ඉතිරි ඒවා 2016 දී විසුරුවා හරින ලදී. එම පළාත් පාලන ආයතන පිහිටි ආයතන බලසීමාවල පදිංචි ජනතාව, එම පළාත් පාලනය කිරීම සඳහා තමන් කැමැති නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට ඇති අවස්‌ථාව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් අහිමි කර ඇත. එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් 12 (1) උල්ලංඝනය කිරීමකි. 

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට මුවාවී පළාත් පාලන මැතිවරණ කල්දැමීමට රජය උත්සාහ කරයි. දැනට රටේ උදාවී ඇති තත්ත්වය අනුව සියලු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති අතර උල්ලංඝනය වීමේ අවදානමක්‌ ඇති බවට තීන්දු කරන ලෙසද හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. 

Share on Google Plus