ජනමත විචාරණයක් - ජනපති අගමැති හදිසි හමුවක්. - Info Sri Lanka News | Sinhala

ජනමත විචාරණයක් - ජනපති අගමැති හදිසි හමුවක්.


පළාත් සභා මැතිවරණය කල් දැමීම සදහා යෝජනා කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයක් උවමනා බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි ලැබුන තොරතුරක් මත ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඊයේ (15) රාත්‍රී හමුවී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරන ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලේ 2-1ක් ලෙස වන මෙම තීන්දුව ගැන දැනටමත් කතානායකවරයාට දන්වා ඇති බවත් 20 වන දා මෙම තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බවත් වෙබ් අඩවි කිහිපයක් විසින් දැනටමත් වාර්තා කර ඇත.

නීති ක්‍ෂෙත්‍ර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවල තවදුරටත් සදහන්ව ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බලමින් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතුයයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරනු ඇති බවයි.

පෙත්සම්  විභාගය :

20 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු පෙත්සම් 13ක විභාගය පසුගිය සැප්තැම්බර් 6 වනදා ආරම්භ වූ අතර ඊට අදාළ තීන්දුව සැප්තැම්බර් 19 වනදා ලබා දෙනු ඇතැයි පැවසේ.

 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සියළු පළාත් සභා මැතිවරණ එක් දිනයක පැවැත්වීමටත් මෙතෙක් මැතිවරණ කොමිසම සතුව පැවති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ දින නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීමත් යම් පළාත් සභාවක් නියමිත වසර පහට පෙර විසුරුවා හැරීමට සිදුවුවහොත් එය පාර්ලිමේන්තුව යටතට පැවරීමටත් යනාදී වශයෙන් සංශෝධන ඉදිරිපත් කෙරී තිබුණු අතර ඒවා පළාත් සභා ක්‍රමයට පක්ෂ සහ විපක්ෂ දෙපිරිසේම නොයෙක් නොයෙක් විවේචනයන්ට භාජනය වී තිබිණි.

කෙසේවෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් පැවැත්වීමට නියෝග කළහොත්, ජනමත විචාරණයකට නොයා සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා ඡන්දයකට යාමට ආණ්ඩුවේ ඇතැමුන් මේවනවිට තීරණය කර ඇතැයි ද පැවසේ.

කෙටුම්පතේ දෝෂ ?

මෙම කරනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රීලනිප අමාත්‍යවරයකු පැවසුයේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් එහි පුදුමයක් නොමැති බවයි.

එම සංශෝධනය කෙටුම්පත් කල නීති විශාරදයින් බරපතල දෝෂ සහිතව එය ඉදිරිපත් කර ඇති බව විජේදාස රාජපක්ෂ මහතා  අධිකරණ ඇමති ධුරය දරද්දී ජනාධිපතිවරයාට කිහිප අවස්ථාවකම පෙන්වා දුන් බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus