යුක්තිය ඉටුවෙයි.


යාපනයේදී සමූහ දූෂණයට ලක්කොට මරා දැමූ විද්‍යා දැරියගේ ඝාතකයන් හත්දෙනාට යාපනය මහාධිකරණය මඟින් ඊයේ (27දා) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනකුට මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනකු රජයේ සාක්කිකරුවන් වීම නිසා ඔවුන් නිදහස් කෙරිණි.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවැසුවේ මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

මරණ දඬුවමට අමතරව එක් විත්තිකරුවකු විසින් විද්‍යාගේ පවුලට රුපියල් මිලියනය බැගින් වන්දි මුදලක් ගෙවිය යුතු අතර එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මරණීය දඬුවමට අමතරව විත්තිකරුවන්ට නියම කොට ඇති වසර 30ක බරපතළ වැඩ ඇති සිර දඬුවම් තවත් දීර්ඝ කරන බවද නඩු තීන්දුවේ සඳහන් වෙයි.

ඊට අමතරව සිවුවැනි හා 9 වැනි සැකකරුවන්ට රුපියල් 70,000ක් හා සෙසු විත්තිකරුවන්ට රුපියල් 40,000ක් බැගින් දඩ මුදල්ද නියම කෙරිණි.

මෙම නඩු තීන්දුව දැක බලාගැනීමට විද්‍යා දැරියගේ මව, පියා ඇතුළුව ඥාතීහූ විශාල පිරිසක්ද යාපනයේ සාමාන්‍ය වැසියෝ විශාල පිරිසක්ද අධිකරණය වෙත පැමිණ සිටියහ.

පිටු 332කින් සමන්විත වූ මෙම නඩු වාර්තාව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් කියවන ලදී.

වවුනියාව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්රේම් ශංකර් යන මහත්වරු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට ඇතුළත් වූහ.

මෙම නඩුවේ විත්තිකරුවන් නව දෙනා වූයේ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් හෙවත් සින්නප්පා, පූබාලසිංහම් ජෙයකුමාර් හෙවත් රවී, පූබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී, පිල්ලෙනාදන් චන්ද්‍රකාශන් හෙවත් චන්ද්‍රා, ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි, පලනි රූපසිංහම් කුගනාදන් හෙවත් නිශාන්තන්, ජයදරන් කෝකිලන් හෙවත් කන්හා සහ මහලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් යන අයයි.

යාපනය මහාධිකරණයේදී මෙම නඩුව විභාග වීම ආරම්භ වූ දා පැමිණිල්ලේ ආරම්භක දේශනය පවත්වනු ලැබුවේ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩී.එස්.ජී. කුමාර රත්නම් මහතා පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම කළේය.
නඩු විභාගයේදී වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

"මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටයි යාපනය මහාධිකරණය තුළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත්වන්නේ. සැලසුම් සහගතව පැහැරගෙන ගොස්, අපයෝජනය කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනිදා උදෑසන 7.30ට පමණ. මෙය යාපනය පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් වුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ කළා. ඒ අනුව, මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි"

"අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සාහ දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන්ද සැලසුමක් තිබුණා. මේ නිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදියටත් හඳුන්වන්න පුළුවන්"

"මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හඳුනාගන්න පුළුවන් වුණා. සිසුවිය අපයෝජනය කිරීම වීඩියෝ කර ජාත්‍යන්තර වෙළෙඳපොළට විකිණීමට උත්සාහ දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයකු වුවත් ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි කෙනෙක්. මොහු ස්විට්සර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනකු සමඟින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා. දකුණු ආසියා රටවල දැරියන් හා තරුණියන් ලිංගිකව අපයෝජනයට ලක් කර ඒවා වීඩියෝ කරමින් අධික මිලකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සාහ දරා තිබෙනවා. මෙම ඝාතනයේ 2, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය වීඩියෝ ගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සාහය ව්‍යාර්ථ වුණා. නමුත් මෙකී වීඩියෝව විකුණ­ූ­ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුණා"

"ඝාතනයේ 2, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාළු නිවසකදී දූෂණය කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන ඇවිත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය කර තිබෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයටත් තුවාල සිදුවී තිබෙනවා.

මෙම අපරාධයට නීතියෙන් හැකි උපරිමයෙන් දඬුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා"
නඩු විභාගය ආරම්භ වූ දිනයේදී ඝාතනයට ලක්වුණ විද්‍යා දැරියගේ මව වන සිවලෝගනාදන් සරස්වතී මහත්මියගෙන් සාක්ෂි මෙහෙය වූ අතර තම දියණිය පැහැරගත් අවස්ථාවේ ඇය විසින් හැඳ සිටි ඇඳුම් සහ ඇය පරිහරණය කළ සෙසු භාණ්ඩ සාක්ෂිකාරිය හඳුනා ගත්තාය.

විද්‍යා සිසුවියගේ මව වන ශිවලෝගනාදන් සරස්වතී මහත්මිය නඩු විභාගයේදී සාක්ෂි දෙමින් මෙලෙස සඳහන් කළාය.
"මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ පා පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඔහුට වැඩක් තියෙනවා නම් දුව ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාග රෝගියෙක්. ඔහු ඉන්නෙ ඔත්පළවයි. මේ නිසා පුතා අතරමඟදී පාසල් අධ්‍යාපනයත් නතර කර වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසලට යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගයත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිත කරන්නත් අපහසුයි"

"සිද්ධිය වූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේ. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවෙසට එන සුපුරුදු වේලාව පසු වූ නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහින් පාසලේ කවුරුත් නැහැ. පාසලත් වහල කියල දුරකතනයෙන් කිව්වා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවෙ නැහැ කියලා."

"ඊට පස්සේ මායි, පුතායි විද්‍යාව හොය හොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන් පොලිස් මුරපොළ වෙත පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල භාර ගන්න බැහැ කීවා.

"ඒ අනුව රෑ 8ට විතර කයිට්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ වුණත් යයි, ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙල්ලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රිරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දී ත්‍රීවීල් රියැදුරු කිව්වා "මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්ධියේදී දකිනවා කියලා. එහෙත් එදා සිද්ධිය වූ දින (මැයි 13දා) මා ඇය දැක්කේ නැහැ. මේ නිසා ඇය අනිවාර්යයෙන්ම ඇයගේ නිවෙසත් ආලඩි මංසන්ධියත් අතරතුරදී නැතිවෙලා තියෙනවා. ඒ පැත්තේ සොයා බලන්න කියලා කිව්වා"

"රෑ වීමත් වැසි ඇදහැළීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවෙසට පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තේම අපි ඇයව සෙව්වා" එහෙම හොයන අතරේ මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියලා මහ හයියෙන් කෑ ගසනවා ඇසුණා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. "අම්මා අපේ විද්‍යා" කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දී මාත් සිහිසුන් වුණා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මළසිරුර මීටර් 20ක් විතර අෑතින් ඉඳලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල්ගත කළා. අනතුරුව කයිට්ස් පොලිසියේ නිලධාරීන් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සඳහා රෝහල වෙත ගෙන ගියා"
මෙම නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එක් විනිශ්චයකාරවරයක ªවූ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන්, නල්ලූර් ප්‍රදේශයේ සිය නිල රථයේ ගමන් කරමින් සිටියදී සිදු වූ වෙඩි තැබීමකින් ඔහුගේ ආරක්ෂකයකුව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මිය ගියේය. ඒ සිද්ධියත් සමඟ විනිසුරුවරයා ගැන රටේ මහත් කතාබහක් ඇති විණි.

නඩු විභාගය අතරතුර ස්විස් කුමාර් නමැත්තාට පැන යෑමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත එවකට උතුරු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත මුදා හැරිණි.

එමෙන්ම කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේශ්වරන්ටද මෙම නඩු විභාගයේදී චෝදනා එල්ල විය. ඒ ස්විස් කුමාර් නමැත්තාට පලායෑමට ආධාර කළ බවටය. තමාට පලායෑමට ඇමැතිනිය උදව් කළ බව ස්විස් කුමාර් නමැත්තා නඩු විභාගයේදී පැවසූ සාක්ෂියක් මත ඇමැතිනියගෙන් රහස් පොලිසිය පැය 6ක් පමණ කට උත්තර ලබා ගෙන තිබිණි.

මෙම නඩු තීන්දුව ලබාදීමට නියමිතව තිබුණු ඊයේ යාපනය මහාධිකරණය අවට මෙන්ම යාපනයේ බොහෝ ස්ථානවල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි. එමෙන්ම අධිකරණ භූමියට වෙනත් අවශ්‍යතා උදෙසා පැමිණි සියලුම පුද්ගලයන්ද දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගේ ක්‍රියකලාපය අනුමත කළ නොහැකි බව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ පැවැසීය.

විද්‍යා දැරියගේ ඝාතනයෙන් අනතුරුව එහි ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් නමැත්තා නිර්දෝෂී කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අනුමත නොකරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

නඩු තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අහදස් දැක්වූ විද්‍යාගේ මව වන ශිවලෝගනාදන් සරස්වතී මහත්මිය මෙසේ කීවාය.

"අද ලැබුණෙ නිවැරැදි තීන්දුවක්. මේ තීන්දුව ලබා ගැනීමට උදවු කළ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම විනිසුරුවරුන් තිදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ විපතක් ලෝකෙ කිසිම දරුවකුට වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා."

Powered by Blogger.