අතුරුදන් වූවන් ගැන කෙටුම්පත 21 ගේන්නේ නෑ.


අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම යන කර්තව්‍ය ඉටුකිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පත ලබන බ්‍රහස්පතින්දා (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඒකාබද්ධ විපක්ෂයට පොරොන්දු වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී පෙරේදා (16දා) සවස කරන ලද සාකච්ඡාවකදී ඉහත පොරොන්දුව ලබාදී ඇත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රිවරුන්ද සමඟ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණද මේ සාකච්ඡාවට සහභාගි වී තිබේ.

මේ පනත ක්‍රියාත්මක කළහොත් රට බේරාගත් රණවිරුවන්ටත් රටේ ජාතික ආරක්ෂාවටත් බලවත් තර්ජනයක් විය හැකි බව පෙන්වා දෙමින් මන්ත්‍රි කණ්ඩායම ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

රට බේරාගත් නායකයන්ව මෙන්ම රණවිරුවන්ද දඩයම් කිරීමට මේ පනත මඟින් හැකිවන බැවින් එය ඉදිරිපත් නොකරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

බෙදුම්වාදය පරාජය කොට ත්‍රස්තවාදය මුලිනුපුටා සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස් සඳහා බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ වාතාවරණය සකස් කර දුන් කීර්තිමත් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයේදී සිදුකරන පැමිණිලි අනුව නඩු ඇසීමටත් දඬුවම් කිරීමට නඩු විභාග කරන රටවලට ඔවුන් භාරදීමටත් සිදුවනු ඇති බවද එම නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ අවධානයට ලක්කර ඇත.

මේ සම්බන්ධයෙන් තව පාර්ශ්ව කිහිපයක් තමාට කරුණු ඉදිරිපත් කර ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද කරුණු දක්වා ඇතැයිද පවසා තිබෙන ජනාධිපතිවරයා සියලු කරුණු සැලකිල්ලට ගෙන ලබන 21 වැනිදාට පනත ඉදිරිපත් නොකිරීමට අවශ්‍ය විධිවිධාන යොදන බව ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමටත් අනතුරුව තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බවද ජනාධිපතිවරයා එම නියෝජිත පිරිසට පවසා ඇත.

පැයක පමණ කාලයක් මේ සාකච්ඡා පැවැත්වූ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබා දුන් උපදෙස් අනුව සිය කණ්ඩායම සාකච්ඡාවට සහභාගි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන කීවේය.

Powered by Blogger.