අපේ මැති ඇමතිවරුන්ට සිංගප්පූරු ක්‍ර‍මයට ගෙවමු ද? - Info Sri Lanka News | Sinhala

අපේ මැති ඇමතිවරුන්ට සිංගප්පූරු ක්‍ර‍මයට ගෙවමු ද?


අනාදිමත් කාලයක් තිස්සේ ‘ලෝකෙන් උතුම් රට ලංකාව ය...‘ කියා හිතාගෙන හිටිය ලංකාවේ කට්ටිය මෑතක සිට පුදුමාකාර ඩිස්ටෝපියානු මානසිකත්වයකින් පෙළෙන්නේ, සිංගප්පූරුව ‘යුටෝපියාව‘ කරගෙන ය. ඔවුන් හිතාගෙන ඉන්නේ, ඔවුන්ගේ වරාය ද - ගුවන්තොට ද - ඉස්පිරිතාල ද මතු නොව කැබිනට්ටුවට ගෙවන විදිය ද (මොරටුවේ හදන කැබිනට්ටු වලට නොවේ...) සිංගප්පූරුවේ වගේ විය යුතු බවකි... (මහා උත්ප්‍රාසය නම්, දශක හතරකට පහකට කළින් සිංගප්පූරුවන් ද තමන්ගේ රට කොළඹක්/ලංකාවක් වගේ කරගන්නට සිහින දැකීම ය...)

ඉතිං අපි බලමු..., වරාය - ගුවන්තොට - ඉස්පිරිතාල කෙසේවත්, කැබිනට්ටුවේ ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ටවත් සිංගප්පූරු ක්‍ර‍මයට ගෙවන හැටියක් ගැන...

ඔක්කොට ම කලින්, මැති ඇමතිවරුන්ට දැනට ගෙවන හැටිය දැනගන්න, පහත වගුවට පිවිසෙන්න... එම දත්ත වගුවෙහි දැක්වෙන හැටියට, සෑම මන්ත්‍රීවරයෙකුට ම ගෙවන රු.100000.00 ක මාසික කාර්යාල දීමනාව සහ පාර්ලිමේන්තුවේ එක් සැසියකට පැමිණිම වෙනුවෙන් ගෙවන රු.2500 (එම ගෙවීම ඊට පෙර රු.500 කි.) ගෙවනු ලබන්නේ, 2017 ජනවාරි සිට ය...


 
පැමිණීමට ගෙවන ලංකාවෙ විදිය

කලින් ද සඳහන් කරනු ලැබූ හැටියට, 2017 ජනවාරි සිට පාර්ලිමේන්තු සැසියකට පැමිණිම වෙනුවෙන්,

මන්ත්‍රීවරයෙකුට ගෙවන මුදල රු.500 සිට රු.2500 දක්වා ඉහළ දැමූ බව නැවතත් සිහිපත් කරගෙන, ඉකුත් මැයි මස (2017 මැයි) මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ලේඛන පරීක්ෂා කර බලමු...

සාධනීය ලක්ෂණයක් ලෙස පෙනෙන දෙය, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීම දිරි ගැන්වී තියෙනවා... මැයි මස පුරා ම (සැසි 7) පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 8 ක් දක්වා අඩු වෙලා... මන්ත්‍රීවරුන්/වරියන් 45 දෙනෙකු ම සැසි 7 ට ම සහභාගී වී තියෙනවා...

කණගාටුවට කාරණාව වෙන්නෙ, 2017 මැයි මාසෙ හැමදාම පාර්ලිමේන්තු ආපු 45 දෙනාගෙන්, 18 දෙනෙක් ම (ඒ කියන්නෙ 40% ක් ම) පාර්ලිමේන්තුවට ආවට, ප්‍ර‍ධාන සභාවේ කිසිම ව්‍යවස්ථාදායක කටයුත්තකට ක්‍රියාකාරී ව සහභාගී වුණේ නැති එක... (මේ දත්ත ලැබෙන්නෙ, Manthri.lk - පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණ අඩවියෙන්...)

ඒ 18 දෙනා පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් මැයි මාසය ට රු.3,15,000 ක වැය බරක් අප (ජනතාව) මත පටවා තියෙනවා... කොහොමටත්, මාස් පතා, හැම සැසියකට ම පාර්ලිමේන්තු පැමිණෙන මන්ත්‍රීවරුන්/වරියන් අතර සාමාන්‍යයක් හැටියට අඩු ගානෙ 15 ක් 20 ක් වත්, ‘අයිස් ගහනව‘ (අපේ බාසාවෙන්) නම්, එකී අයිස් ගහන්නන් සියල්ල අවුරුද්දකට අප මත පටවන වැය බර රු. මිලියන 4 ක් 5 ක් (සාමාන්‍යයෙන් මාසෙකට පාර්ලිමේන්තු සැසි 8 යි) වෙනවා...

අවුරුද්දක කාලාන්තරයක් හැටියට, 2015 සැප්තැම්බර් - 2016 ඔක්තෝබර් කාලය සඳහා වන Manthri.lk හි දත්ත ඇසුරින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු - දායකත්වයෙහි මට්ටම මැන බලන විට, මන්ත්‍රීවරුන්/වරියන් 223 ක් අතුරින් (කතානායක/ නියෝජ්‍ය කතානායක හැරුණු විට) මන්ත්‍රීවරුන්/වරියන් 32 ක් ම මුළු අවුරුද්ද පුරාම සභා ගර්භයේදී පාර්ලිමේන්තුව ඇමතීම/ප්‍ර‍ශ්නයක් ඇසීම/ පිළිතුරක් දීම/පෙත්සමක් ඉදිරිපත් කිරීම/ රීති ප්‍රශ්නයක් මතු කිරීම/ ඡන්දය දීම වැනි කටයුත්තකට සහභාගී වී ඇඇත්තේ 5 වතාවක් හෝ ඊට අඩු වතාවක් බව පෙනී යාම, ඉතාම ඛේදනීය තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ... ඒ අතරිනුත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු, යටත් පිරිසෙයින් පාර්ලිමේන්තු සභා ගර්භයේ ‘පෙර කියන ලද වර්ගයේ‘ ව්‍යවස්ථාදායක කටයුත්තක නිරත වෙලා තියෙන්නෙ එක් වතාවක් පමණක් වීම, බරපතල ඛේදවාචකයක්...

එ් නිසයි, ‘මන්ත්‍රීවරයෙකු පැමිණීම වෙනුවෙන්‘ කරන ගෙවීම ‘පැමිණ, අර්ථාන්විත යමක් කිරීම වෙනුවෙන්‘ ගෙවන ක්‍ර‍මයකට මාරු විය යුත්තේ... ඒ කියන්නේ, කිසියම් කාර්යසාධන පරීක්ෂාවක් සහිතවයි ගෙවිය යුත්තේ... හුදෙක් ‘පැමිණීමට ගෙවීම‘ අර්ථයක් නැති ගෙවීමක් නෙවෙයි ද...?

පැමිණ - වැඩකිරීමට ගෙවන සිංගප්පූරු ක්‍ර‍මය

ඔවුන් මන්ත්‍රීවරුන්/වරියන්ට ගෙවන්නෙ, කාර්යසාධනය මත පමණ ම යි... ඔවුන්ට තියෙන්නෙ, එහි ඇත්තේ, ‘ඉලක්ක සැපිරීම‘ හා ‘කාර්යසාධනය‘ මත පදනම් වන ‘මාසික වැටුපෙහි ගුණයක් / තුන් ගුණයක්‘ ආකාරයේ වාර්ෂික දීමනා ක්‍ර‍මයක්... ඒ හැරුණු කොට, ඇමතිවරුන්ට නිශ්චිත වැටුපක්...

ලංකාවෙ වගේ මාසික/වාර්ෂික දීමනා ලැයිස්තුවක් නෑ...

අනෙක් අතට, සිංගප්පූරුවේ කැබිනෙට්ටුව නියෝජනය කරන ඇමතිවරුන් ගේ සංඛ්‍යාව 21 යි... ඒ හින්ද ඇමතිවරුන්ට කොච්චර ගෙව්වත්, ගෙවන සංඛ්‍යාව ප්‍රාමාණිකව 21 පමණ ම යි... (අපේ සංඛ්‍යාව...?)

අවසාන වශයෙන්, මැති ඇමතිවරුන්ට, සිංගප්පූරු ක්‍ර‍මයට ගෙවනු දකින්නට කැමති මැති ඇමතිවරුන් මෙන් ම රටවැසියනුත්, කල්පනාවට ගත යුතු තවත් වැදගත් දෙයක් මතක් කරන්නට පුළුවන්... එහේ (සිංගප්පූරුවේ) ඇමතිවරයෙකු/වරියක අවම වශයෙන් උපාධි 3 ක් වත් සම්පූර්ණ කරලා තියෙනවා... මැති ඇමතිවරුන්ගේ වයස් සාමාන්‍ය අවු. 40 කට වැඩි වෙන්නෙත් නැහැ... (ලංකාවෙ ක්‍රීඩකයින්ට විතරක් නෙවෙයි මැති ඇමතිවරුන්ටත් ෆිට්නස් නෑ... ඇතැම්මු වල පයයි - ගොඩ පයයි...)

- සුරේඛා සමරසේන

Share on Google Plus