ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමේ සැලසුමක් ඇති බවට අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

එළැඹෙන 15 දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවත් එහිදී ඇය අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය රතුකුරුස ආයතනය විසින් 'සිරිලිය සවිය' සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

මීට පෙර ශිරන්ති රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ අතර ඇයට එහි පැමිණිය නොහැකි බව ඇයගේ නීතිඥයින් විසින් දන්වා තිබිණි.

නාවොත් අධිකරණ නියෝගයක් !

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලබන 15 වැනිදාට ද ඔවුන් නොපැමිණියහොත් දණ්ඩනීති සංග්‍රහයේ 129 (6) වගන්තිය යටතේ අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බවයි.

(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දන්වා තිබිණි.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

එම රථය 'සිරිලිය සවිය' සංවිධානය භාරයේ තිබෙන අවස්ථාවේදී ඔවුන් එය කුමන කාර්යයක් සඳහා භාවිත කළේ ද යන්න තමන් නොදන්නා බව රතුකුරුස සංවිධානය එවක පැවසීය.

ඩිෆෙන්ඩර් රථයේ පැහැය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බවත් එම ආයතනය සඳහන් කොට තිබිණි.

අදාළ ඩිෆෙන්ඩර් රථය මේ වන විට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.


මේ අතර තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණි.

Share on Google Plus