දුර නොදකියි : ළඟම බලයි විදුලි අර්බුදයක් ළඟ ළඟ එයි. - Info Sri Lanka News | Sinhala

දුර නොදකියි : ළඟම බලයි විදුලි අර්බුදයක් ළඟ ළඟ එයි.


රට පුරා නියඟයක් පවතී. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එයින් විපතට පත්ව ඇත. තවදුරටත් වැසි නොලැබුණහොත් නියඟය පමණක් නොව අන්ධකාරයද රටට බලපාන්නට බැරි නැත. ඉදිරි මාස දෙක තුළ ප්‍රමාණවත්ව විදුලිය උත්පාදනය කරගත නොහැකි වුවහොත් දිනකට පැය දෙකක විදුලිය කප්පාදුවක් ප්‍රකාශයට පත් කරන්නට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය දක්වා තිබේ. අඩුම වියදමකින් විදුලිය නිපදවා රටට දවසේ පැය 24 පුරා දෙන්නට නිසි සැලසුමක් අවශ්‍යය. විදුලිය කපා හැරීම ආර්ථිකයට හිතකර දෙයක් නොවේ. එය නිෂ්පාදනය අඩාල කරන අතර හදිසි මාර්ගවලින් විදුලිය නිපදවා ගන්නට කරන ප්‍රයත්නයේදී කරන අනවශ්‍ය වියදම රටට ප්‍රශ්න ඇති කරනු ඇත. අවසානයේදී මෙම සියලු වියදම් ගෙවන්නට සිදුවන්නේ පාරිභෝගික ජනතාවට විනා පාලකයන්ට නොවේ.

වැස්ස නැති වෙන විට විදුලිය කපා ප්‍රශ්න විසඳන්නට විදුලිබල මණ්ඩලයක් අවශ්‍ය නැත. රටට අවශ්‍ය විදුලිය ප්‍රමාණය හා එය උත්පාදනය කිරීමේදී ඇති විය හැකි බාධා ගැන නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුය. දීර්ඝ කාලීන සැලැස්මක් සහ එය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති නම් එය ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ.

විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය ගැන ඉන්ජිනේරුවන්ට අනන්‍ය සැලැස්මක් තිබේ. නියාමකයන් කරන්නේ එහි ඇති ස‍ෙදාස් තැන් දැකීමය. දේශපාලනඥයන්ට ඇත්තේ වෙනත් අදහස්ය. මෙම පැති තුන එකට ගැළපෙන්නේ නැත. වසර 2037 වන විට ගල් අඟුරු බලාගාරවලින් නිපදවන විදුලිය ප්‍රමාණය සමස්තයෙන් සියයට 62ක් දක්වා වැඩි කරන අතර අධික පිරිවැයක් සහිත ඩීසල් විදුලිය උත්පාදනය 3%ක් දක්වා අඩු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ජනන ඉලක්ක දක්වයි. මෙම ජනනය වෙනුවෙන් ඉන්දීය ආධාර ඇතිව ගල් අඟුරු බලාගාරයක් සාම්පූර්හි ඉදිකිරීමට යෝජනා විය. නමුත් අද එය වළක්වා තිබේ. පරිසරය ආරක්ෂා කරගත යුතු බව පෙන්වා දුන් පාර්ශ්වයන්ගේ අදහස් පිළිගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දීර්ඝ කාලයක් සාකච්ඡා කරමින් තිබුණ ගල් අඟුරු තාක්ෂණය වෙනස් කර ද්‍රව ගෑස් බලාගාරයක් වශයෙන් ලබාදන සේ ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එයට අනුමැතිය ලැබිණි.

නමුත් අද වන තෙක් එහි ඉදිකිරීම් නැත. රටට වුවමනා කරන විදුලිය ජනනය නොවීමට එය එක හේතුවකි. පසුගිය අවුරුද්දේදී අද එළැඹිය හැකි අනතුර සලකා බැලූ ආණ්ඩුව ජනතාව සූර්ය බල සංග්‍රාමය නමැති හිරු එළියෙන් විදුලිය ලබාගන්නා ක්‍රමයකට යොමු කරන්නට තැත් කළේය. ජනතාව එම ණය යෝජනා ක්‍රමය පිළිගත්තේ නැත. එය තමන්ට සහනයක් නැති සහ ණය උගුලක හිර කරන එකක් සේ ඔවුහු කල්පනා කළහ. ගල් අඟුරු උත්පාදනය නතර වූ සූර්ය බල සංග්‍රාමය නිසි සේ බල නොපැවැත්වුණ රටට විදුලිය කපා දැමීම හැර අන් විකල්පයක් නැත. නමුත් ආණ්ඩුව සිය දේශපාලන අභිමතාර්ථය උදෙසා ඕනෑම මිලක් ගෙවා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගෙන අඩු මිලට පාරිභෝගිකයන්ට සපයන්නට බැරි නැති අතර එය එසේ වුවහොත් රජයේ වියදම් දරුණු ලෙස ඉහළ යන්න ඉඩ තිබේ.

අද වන විට මෙරට විදුලිය නිපදවීම ආර්ථිකයට විශාල බරකි. එයට හේතුව මෙරට විදුලිය නිපදවීමට උපයෝගී කර ගන්නා මාධ්‍ය වෙනුවෙන් වැය කරන විදේශ විනිමය වියදම් ප්‍රමාණයයි. දැවිතෙල්, ඩීසල් සහ ගල් අඟුරු විදුලිය නිපදවීම සඳහා රටට ආනයනය කරන අතර මෙම ආනයන වෙනුවෙන් පමණක් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වියදම් කරන්නට සිදුවී ඇත. මෙරට තේ අපනයනයෙන් උපයන විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අඩු මට්ටමක පවතින හෙයින් මෙම ආනයන වියදම කොපමණ දරුණු එකක් දැයි තේරුම් ගැනීම පහසුය. 2007දී මෙරට විදුලිය නිපැයුමෙන් සියයට 40.2ක් ජල විදුලියෙන් සම්පාදනය විය. එය එවකට අඩුම වියදමකින් විදුලිය නිපදවීම වශයෙන් සැලකිණි. අද වන විට මෙරට ජල විදුලිය නිෂ්පාදනය සමස්ත ජනනයෙන් සියයට 15.5ක් බව විදුලි බල මණ්ඩලයේ දත්ත දක්වයි. සියයට 41.68ක් ගල් අඟුරුවලින් නිපදවන අතර සියයට 40.72ක ප්‍රමාණයක් නිපදවන්නේ දැවිතෙල් හා ඩීසල්වලින් බව ප්‍රකාශ වෙයි.

මෙපමණ වියදමක් දරා නිපදවන මෙරට සමස්ත විදුලිය ප්‍රමාණයෙන් සියයට හැට තුනක් පමණ භාවිත කරන්නේ ගෘහස්ථ පාරිභෝගිකයන්ය. එය කිසිම නිෂ්පාදන හෝ සේවා ආර්ථිකයකට දායක නොවේ. ජනතාවට නිවාස ආලෝකවත් කිරීම ඉතාම වැදගත් නමුත් මෙම ප්‍රතිශතය නිෂ්පාදනයට වැඩි බරක් එන සේ පරිවර්තනය නොකළහොත් එහි වියදම ජනතාවටම දරන්නට සිදුවෙයි. අද වන විට ලෝකයේ වැඩිම මිලක් විදුලිය වෙනුවෙන් ගෙවන රටවල් අතරින් ශ්‍රී ලංකාවද එකක් වීම එකී අවාසනාවන්ත තත්ත්වයේ එක පැත්තකි.

2017 වසරේදී බලශක්ති අර්බුදයක් පැන නැඟෙන බව ආණ්ඩුව හොඳටම දැන සිටියේය. තද නියඟයක් ඇතිවිය හැකි බව කාලගුණ අංශ ප්‍රකාශ කළේ සෑහෙන කාලයකට කලින්ය. එසේ තිබියදී එයට කල්තියා සූදානම් වීමේ වැදගත්කම ආණ්ඩුව සලකා බලන ලද බවක් නොපෙනේ. ජනතාවට විදුලිය බලය ලබාදීම අතින් ආසියානු කලාපයේ රටවල් අතරින් ජන අනුපාතයට හොඳම විදුලිය සැපයුම කරන්නට ශ්‍රී ලංකාව සමත්ව සිටී. නමුත් විදුලිය අර්බුදයක් ඇතිවුවහොත් ජනතාව බනින්නේ ආණ්ඩුවටය.

වසර පුරා හොඳින් හිරු රැස් වැටෙන රටක් වශයෙන් අලුත් බලශක්ති ප්‍රවණතා කෙරෙහි නැඹුරු වෙන්නට රටට වගකීමක් තිබේ. ස්වාභාවිකව ලැබෙන හිරු එළිය බලශක්තිය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට සූදානම් වීම යහපත්ය. නමුත් එසේ කරන්නට තරම් පහසුකම් සම්පාදනය කරන්නට ආණ්ඩුව උත්සුක නැත. සූර්ය බලසංග්‍රාමය යැයි දක්වන නමුත් සාමාන්‍ය ජනතාව පමණක් නොව රජයේ ආයතනවත් වේගයෙන් ඒවාට අනුගත වන බවක් නොපෙනේ. රටට ලැබෙන වාසි සලකා ජනතාව එයට නැඹුරු කරන්නට සරල තත්ත්ව ඇති කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමකි. තමන්ගේ සුපිරි වාහන, බදු සහන හෝ විශ්‍රාම ජීවිතය ගැන හිතන රජයේ ඉහළ නිලධාරීහු සූර්ය බලය වෙනුවෙන් අනුබලය දෙන්නේ නැත. විශාල ව්‍යාපෘති වශයෙන් 2037 වන විට ගල් අඟුරු බලාගාර හදන්නට සූදානම් වෙනවා විනා අලුත් සැලසුම් හිතන්නේ නැත. පර්යේෂණ වාර්තා පෙන්වන්නේ වසර 2000දී ගල් අඟුරු විදුලිය ඒකකයක් සත 18කට නිපදවූ නමුත් අද එය රුපියල් 11 ඉක්මවා ඇති බවය. 2020 වන විට එය ඒකකයක් නිපදවීම රුපියල් 40 ඉක්මවන බව හෙළිදරව් වෙයි. මෙම මිල වැඩිවීම පාලනය කරන්නට උත්සාහ නොකරනු ඇති අතර ආණ්ඩුව ඉදිරියේදී නිෂ්පාදන මිල පියවා ගනු සඳහා යැයි කියමින් විදුලිය ගාස්තු වැඩි කරන්නටද බැරි නැත.

රටේ විදුලිය කප්පාදුවක් පමණක් නොව නිසි ජනන සැලැස්මක් ද රහිතය. එහි පිරිවැය ඉහළ ගියහොත් එය හුදෙක් සාමාන්‍ය ජනතාවගේ විදුලිය බිල ගැන ප්‍රශ්නයක් නොවේ. මෙරට කර්මාන්ත හා සේවා අංශයේ සියලු පැතිවල එහි වියදම බෙදී යයි. සංචාරක හෝටලයක විදුලිය ගාස්තු වැඩිවන විට රටට එන සංචාරකයාගේ වියදමට ද එය එකතු වනු ඇත. කාර්මික අපනයන විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයට එය අහිතකර වන අතර ජී. එස්. පී. මඟින් ලබාගත් යුරෝපා සහනය වාසිදායක නොවන තැනකට පත් වන්නට ඉඩකඩ තිබේ.

පවතින රටාව වෙනස් කරන්නට නව මං යෝජනා කරන්නට අවශ්‍යය. මෑතකදී ජනාධිපති නිල නිවෙස සූර්ය බලයෙන් බල ගැන්වීය. රටටම ආලෝකය ලැබෙන සේ විදුලිය අර්බුදය මැඬපවත්වා ගන්නට නම් දුර දක්නා සැලසුම් අවශ්‍යය. අද රටේ ඇත්තේ දූෂණ කතාය. විශ්වාසභංග යෝජනාය. මැතිවරණ කල් දැමීමය. ඒවායෙන් රටට ආලෝකය ලැබෙන්නේ් නැත.

-ශාමින්ද වත්තේගෙදර

Share on Google Plus