රාජපක්ෂවරු තිදෙනෙක් මේ සතියේ FCID යට.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරි, හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මේ සතියේ දී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට (FCID) කැඳවා ඇත.

රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහ පරිමාණ වංචා හා දුෂණ කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාලව වැඩිදුරටත් ප්‍රකාශ ලබාගැනීම සඳහා මෙම පිරිස කැඳවා තිබේ.

ඒ අනුව, මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරි සජින් වාස් ගුණවර්ධන මහතාට අද (28) පෙරවරු 9.30ට FCID යට වාර්තා කරන ලෙස දැනුම්දීමක් කර තිබේ.

ඒ, මිහින් ලංකා සමාගමට අයත් බස් රථ දෙකක් LOLC සමගම විසින් වෙනත් පාර්ශවයකට විකිණීමෙන් රුපියල් 33,656,226ක අලාභයක් සිදුකිරීම සම්බන්ධ විමර්ශනයේ අංක KE 8347 කාර් රථය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමටය.

මේ දක්වා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැත.

ප්‍රසන්න රණවීර : ගිණුමකට මුදල් තැන්පත් වීම

එසේම, ෆෑන් ඒෂියා බැංකුවේ පවත්වා ගෙන ගිය ගිණුමකට මුදල් තැන්පත් වීම සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බුලත්වලගේ ප්‍රසන්න රණවීර මහතාට හෙට (29) පෙරවරු 9.30ට FCID ය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් මේවනවිට කිරිබත්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. (ම/උ බී 516/16)

එස්.එම්. චන්ද්‍රසේන : වත්කම් ප්‍රශ්නයක්

මේ අතර, විමර්ශනයකට අදාළව වත්කම් හා බැරකම් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමතිවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාට අගෝස්තු මස 31දා FCID හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතී. (ම/උ බී 707/16)

Share on Google Plus