ලංවිම අවුලක - විදුලි අර්බුධය ඇත ළඟ.


ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ පවත්නා අවුල් වියවුල් සහ ආරවුල්සහගත තත්ත්වයන් පසුගිය කාලය පුරා අපි විවිධාකාරයෙන් අත්දැක ඇත්තෙමු. මේ නිසා විදුලි සැපයුමේ ගුණාත්මක බව මෙන්ම එහි අඛණ්ඩ සැපයුම් ක්‍රියාවලියද අඩපණ වී පරිසරයටද බලපෑම් සිදු කරමින් රටම අඳුරේ වැටෙද්දී ඒ සඳහා කල් පවත්නා ස්ථිරසාර විසඳුම් සැපයීමට බලධාරීන් මන්දගාමිව කටයුතු කරන ආකාරයක්ද දක්නට හැකි විය.

මෙහි අවසාන පලය වී ඇත්තේ පවත්නා වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ විදුලි උත්පාදන (ඩීසල් බලාගාර හරහා) පිරිවැය ඉහළ ගොස් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය පුළුල් වී සමස්ත ආර්ථිකයම අනතුරේ හෙළීමයි. ඒ හැරෙන්නට විදුලි අංශයේ විවිධ වෘත්තීය සංගම්, නියාමන ආයතන හා රජයේ පාර්ශ්ව හමුවේ සිදු වන විවිධ හැලිහැප්පිලි කඹ ඇඳීම් නිසා රටේ සමස්ත බලශක්ති සුරක්ෂිත බවට විය හැකි අනතුරු හා ආර්ථික හානි පිළිබඳවද අප දැඩිව අවධානයට ගත යුතුය.

මේ ආකාරයෙන් වැඩි වන විදුලි ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් විශාල වශයෙන් විවිධ හදිසි අවශ්‍යතා මත දෙස් විදෙස් පෞද්ගලික අංශයේ විදුලි උත්පාදකයන්ගෙන් විදුලිය අධික මුදලකට ජනතා බදු මුදල් වැය කර මිල දී ගැනීමටද රජයට සිදු ව ඇත.

දිගු කාලීන විදුලි සැලැස්ම

ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයේ බලය ලත් එකම ආයතනය වන විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද මීළඟ වසර 20 සඳහා වන අවම පරිවැය සහිත දිගු කාලීන විදුලි ජනන සැලැස්ම 2018-37 (LCLTGEP 2018-37) සංශෝධනයන්ට යටත්ව විදුලි බල අංශයේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පසුගිය ජුලි 19 දා අනුමත කරන්නේ මෙවැනි පසුබිමක් තුළය.

එහි සුවිශේෂත්වය වන්නේ මෙතෙක් පැවති සම්මත විදුලි ජනන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් වඩාත් පිරිමැසුම්දායි මෙන්ම වඩාත් පරිසරහිතකාමි වුත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් කිසිදු ගල් අඟුරු බලාගාරයකින් තොරව විදුලි ජනන සැලැස්මක් අනුමත කිරීමට නියාමන කොමිසම පියවර ගැනීමයි. මෙසේ අනුමත කරන ලද සැලැස්ම විදුලි බල මණ්ඩලය විසින්ම යෝජනා කර තිබු විකල්ප සැලසුම් තුනක් අතුරින් එකක් වීමම මෙහි සුවිශේෂත්වය වන අතර, ඊට පෙර මේ ඉදිරි විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම සඳහාද කොමිසම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදයක් අනුගමනය කර තිබිණි.

එහෙත් ඉතා ප්‍රබල ලෙස ඩීසල් විදුලි උත්පාදනයන් කෙරෙහි විශ්වාසය තබන රටේ එකාධිකාරි විදුලි ඉංජිනේරු අංශ මෙසේ අනුමත කරන ලද දිගු කාලීන විදුලි ජනන සැලැස්ම පිළිගැනීම සුපුරුදු පරිදි බැහැර කළේය. ඒ වෙනුවට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් සහ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සිදු කළේ මහජන උපයෝගිතා කොමිෂමට එවැනි නියෝග පැනවීමේ නීතිමය අයිතිය අභියෝගයට ලක් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසීමය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ රාජ්‍ය ඒකාධිකාරිත්වය බිද හෙළා රටේ මුළු ජනගහනයද ඉක්මවා යන දුරකතන ග්‍රහක පිරිසක් බිහි කරමින් එම ක්ෂේත්‍රයේ සුවිශාල පුනරුදයක් පසුගිය රජයන් ඇති කළේ යම් සේද ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයේ රාජ්‍ය ඉංජිනේරු එකාධිකාරිත්වය බිඳ හෙළා ශ්‍රී ලංකාවේ පසුගාමි විදුලිබල අංශයේ රැඩිකල් ප්‍රතිසංස්කරණයන් රජය මේ වන විට අපේක්ෂා කර ඇත. එය රජයේ ආර්ථීක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේද ප්‍රමුඛතා අංගයක් වි ඇත.

ජාතික ආර්ථීක කවුන්සලය

ඒ අනුව නව විදුලි ජනන සැලසුම පිළිබඳව පසුගියදා වෙනස්ම ස්ථාවරයක් අනුගමනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථීක කවුන්සලය (CCEM)මේ සම්බන්ධයෙන් ස්වකීය ස්ථාවරය ලිඛිතව විදුලි බල මණ්ඩලයට දන්වා තිබිණි. එහිදී ආර්ථීක කවුන්සලයේ මතය වූයේ එලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසීමක් අවශ්‍ය නැති බවත් නීති ප්‍රකාරව විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන විදුලි ජනන සැලසුම් සංශෝධනයට ලක් කිරීමේ හා අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සතු බවයි. මේ අනුව ජාතික ආර්ථික කවුන්සලය වැඩිදුරටත් පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් සුදුසු විදුලි ජනන බලශක්ති විභවයන් ලංකාවට ගැළපෙන පරිදි ඉදිරියේදී අදාළ පාර්ශ්වවලද අදහස් විමසා තීරණය කරනු ඇති බවත් එතෙක් උපයෝගිතා කොමිෂම විසින් අනුමත කරන ලද නව විදුලි ජනන සැලසුම කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි. ඒ අනුව සැම මාස 03 කට වරක්ම විදුලි අංශයේ ක්‍රියාකාරිත්වය සමාලෝචනයට ලක් කර අදාළ ඉදිරි පියවර ගැනීමටද ජාතික ආර්ථීක කවුන්සලය තීරණය කර ඇත.

උපයෝගිතා කොමිසම විසින් අනුමත කරන ලද නව විදුලි ජනන සැලසුම (LCLTGEP 2018-37) අනුව මෙගාවොට් 242ක සුවිශල් හා මෙගාවොට් 215ක කුඩා ජල විදුලි ව්‍යාපෘති 2ක්, මෙගාවොට් 1389ක සුර්ය බල ව්‍යාපෘති, මෙගාවොට් 1205ක සුළං බල ව්‍යාපෘති, මෙගාවොට් 85ක බයෝමාස් ව්‍යාපෘති, මෙගාවොට් 4800ක් ස්වාභාවික ගෑස් ව්‍යාපෘති, මෙගාවොට් 330ක ෆර්නස් තෙල් ආශ්‍රිත විදුලි උත්පාදන ව්‍යාපෘතියක් හා මෙගාවොට්105ක ගෑස් ටර්බයින ආශ්‍රිත විදුලි නිෂ්පාදන ව්‍යාපෘති මගින් පමණක් ඉදිරි වසර 20 සඳහා විදුලි ඉල්ලුම පිරිමැසීමට ඉලක්ක කර ඇත.

මේ අනුව සියලු ආකාරයේ අධික පාරිසරික හා ආර්ථික පිරිවැයක් සහිත ගල් අඟුරු විදුලි බල ජනන නව ව්‍යාපෘති සැලසුම් උපයෝගිතා කොමිසම මගින් මෙහිදී මුළුමනින්ම ඉවත දමමින් LNG හෙවත් ස්වාභාවික ද්‍රව වායු හා පුනර්ජනනීය විදුලි උත්පාදන අංශවලින් සමන්විත විදුලි ජනන සැලැස්මක් පමණක් අනුමත කර ඇත. මෙහිදී සෘණ බාහිරතා විශේෂයෙන් පාරිසරික හා ශාරීරික වශයෙන් මානව හා ජෛව විවිධත්වයට එල්ල විය හැකි බලපෑම්ද සැලකිල්ලට ගෙන තිබිණි.

නොහැකියාවද? මාෆියාවද?

මීට ඉහත සැලසුම් කරන ලද විදුලි ජනන සැලසුම් විමර්ශනය කිරීමේදීද වඩාත් තහවරු වන්නේ විදුලි මණ්ඩලය, සාපේක්ෂව පිරිවැය අධික පරිසර හිතකාමි නොවු විදුලි ජනන සැලසුම් කෙරෙහි විශ්වාශය තබා විවිධ දිගු හා මැදි කාලීන විදුලි ජනන සැලසුම් සකස් කළද ඒවා ක්‍රියාවට නැංවීමද අනාගත විදුලි ඉල්ලුම තෘප්ත කරන පරිදි සැලසුම්ගත අයුරින් සිදු නොවූ බවයි.

මේ අනුව 2009-2022 විදුලි ජනන සැලසුම අනුව, 2010 වසරේ මෙගාවොට් 270ක මිශ්‍ර ව්‍යාපෘතියක්ද, 2011-2014 කාලයේ මෙගාවොට් 285ක ගල් අඟුරු ව්‍යාපෘති 3ක්ද, 2012 වසරේ මෙගාවොට් 150ක විදුලි උත්පාදන ධාරිතාවකින් යුත් ඉහළ කොත්මලේ බලාගාරය පමණක් සාදා නිම කළේය. එමෙන්ම, 2009-2015 විදුලි ජනන සැලසුම අනුව මෙගාවොට් 20ක ඩීසල් බලාගාරයක්ද (2014), මෙගාවොට් 24ක ෆර්නස් තෙල් බලාගාරයක්ද (2014), මෙගාවොට්60ක යළිත් කොළඹ ආශ්‍රිත ෆර්නස් තෙල් බලාගාරයක්ද (2015) පමණක් ඉදි වු අතරේ 2013 සහ 2016 වසරවල කිසිදු අලුත් බලාගාරයක් විදුලි පද්ධතියට එක් නොවිණි.

මේ තත්ත්වයන් විමර්ශනය කරන මධ්‍යස්ථ මතධාරීන් පවසන්නේ ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තීය දැනුම ඉතා උසස් තත්ත්වයක තිබුණද ඇතැම් ඉංජිනේරු ක්‍රියාකලාප 'දේශප්‍රේමී' අයුරින් පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවු බවයි. විශේෂයෙන් මේ වෘත්තිකයන් ස්වකීය වෘත්තීය සාරධර්මවලට පටහැණිව යමින් පෞද්ගලික අංශයේ විදුලි උත්පාදකයන් හා පවත්වන සබඳතා නිසා විවිධ වාණිජ යටි අරමුණු පෙරදැරිව පෞද්ගලික සුඛ විහරණයන් වෙනුවෙන් කටයුතු කිරීම මඟින් විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරිම ප්‍රමාද වෙමින් රටේ අපේක්ෂිත බලශක්ති පුනරුදයක් වෙනුවට පසුගාමිත්වයක් පසුගිය කාලය විදුලි බල අංශයේ ඇති වු බවට ඔවුහු චෝදනා කරති.

පුනර්ජනනීය විප්ලවය

මේ අතරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවකින් කියවුණේ මෙරටට අනාගත හා වර්තමාන විදුලි ඉල්ලුම පුනර්ජනනීය විදුලි උත්පාදන අංශවලින් වසර 2050 වන විට සම්පූර්ණ වශයෙන් සපුරා ලිය හැකි බවයි. මේ සඳහා අමතරව ඩොලර් බිලියන 50ක් හා අමතර විදුලි ජනන සහායක සේවා අවශ්‍ය බවත් අවධාරණය කර ඇත.

එහිදී වැඩිදුරටත් සඳහන් වුයේ මේ වන විට මෙගාවොට් 3,700ක් වන දේශීය විදුලි ඉල්ලුම වසර 2050 වන විට මෙගාවොට් 34,000ක් දක්වා ඉහළ යනු ඇති බවයි. එහිදී මෙගාවොට් 15,000ක් සුළං බලය මඟින්ද මෙගාවොට් 16,000ක් සූර්ය බලයෙන්ද ඉතිරිය ජල හා බයෝමාස් මිශ්‍රව විදුලි ජනන උත්පාදන ක්‍රමවේදයන්ගෙන්ද සපුරා ලනු ඇති බවයි.

පුනර්ජනනීය විදුලිබල උත්පාදන ප්‍රභවයන් එකතු කිරීමට අමතරව, මේ අධ්‍යයනය මඟින් හඳුනාගෙන ඇති තවත් කාරණාවක් වුයේ විදුලිය ගබඩා කිරීමේ විසඳුමක් හඳුන්වාදීමයි. මෙහිදී මෙගාවොට් 3,600ක අධි බැලැති ක්ෂණික ධාරිතාවක් සහ මෙගාවොට් 15,000 ශක්තිය ගබඩා කිරීමේ පහසුකමක් එහි තිබිය යුතු බවද සඳහන් කර ඇත. මෙය විදුලිබල ජාලයේ ස්ථායීතාව සහතික කරනු ඇත.

මේ අධ්‍යයනය මඟින් අවධාරණය කරන ලද තවත් කරුණක් වුයේ මෙරට විදුලි ගාස්තු ක්‍රමයේ ව්‍යූහාත්මක වෙනසක් ඇති කිරීම මඟින් හා පොසිල ඉන්ධන ආනයන ආදේශන ක්‍රමවේදයක් මඟින් රටේ විදුලි ජනන පිරිවැය අවම කරවා ගැනීමට ගත හැක ක්‍රියාමාර්ගයි. මෙමඟින් ආනයන වියදම් ඩොලර් බිලියන 18කින් පමණ අඩු කරගත හැකි වන බවද ඔවුහු කියති.
ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විදුලි අංශයේ ආධාරක කණ්ඩායමක් ලෙස යෝජිත සූර්ය බලශක්ති ව්‍යාපෘති හා මහා පරිමාණ සුළං බල ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාව පුනර්ජනනිය විදුලි උත්පාදන විප්ලවයකට ඇති කැමැත්ත වඩාත් තහවුරු වන බව යි.

මේ ආකාරයෙන් දිනෙන් දින වැඩි වන විදුලි ඉල්ලුමට සරිලන අඛණ්ඩ විදුලිබල සැපයුමක් හා ඛණිජ තෙල් නිෂ්පාදන සැපයුමක් සහතික කරමින් දේශීය බලශක්ති සම්පත් හා ආනයනික පාෂාණිභූත ඉන්ධන අතර උපායමාර්ගික සමතුලිතතාවක් පවත්වා ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය වී ඇත. එසේම, වාණිජ බලශක්ති උපයෝගිතා ආයතනයන්හි මූල්‍යමය ශක්‍යතාව හා සේවා ගුණාත්මකභාවය වර්ධනය කරගනිමින් බලශක්ති සේවාවන්හි ආයෝජනය, මෙහෙයවීම, නියාමනය, සංරක්ෂණය හා බෙදාහැරීම සම්බන්ධයෙන් රටේ ජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමටද වහ-වහා කටයුතු කළ යුතුව ඇත.

 -මුදිත ගමගේ 

Share on Google Plus