හොකී වලපල්ලට - අවසන් ඇණයත් වදී ද? - Info Sri Lanka News | Sinhala

හොකී වලපල්ලට - අවසන් ඇණයත් වදී ද?


පසුගිය 22 වන දා ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා හමුවූ හොකී ප්‍රවීනයන් රැසක් පෙන්වා දී ඇත්තේ හොකි ක්‍රීඩාව දිනෙන් දින පහල වැටෙන බවයි.

ඊට යහපත් පිළිතුරක් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ලබා දී ඇති බව වාර්තා වේ.

එසේම හිටපු සභාපති සුමිත් එදිරිසිංහගේ පරිපාලනය යටතේ හොකී ක්‍රීඩාවට මෙම ඉරණම අත් වූ බව ද ඔවුන් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා හමුවේ චෝදනා කර තිබේ.

කෙසේ නමුත් වසර 13කට ආසන්න කාලයක් නියෝජය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඇතුළු පරිපාලනය විසින් මෙහෙයවනු ලැබු හොකි ක්‍රීඩාව පසුගිය දෙවසර තුල මෙහෙයවනු ලබන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා යටතේය. අධ්‍යක්ෂකවරයා සහ අමාත්‍යංශය සියලු පහසුකම් ලබා දුන්නද ඇතැම් කුමන්ත්‍රණකරුවන් හේතුවෙන් හොකි ක්‍රීඩාව ගොඩගැනීම අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

 වැටත් නියරත් ගොයම් කන සමයක අමාත්‍යංශය විසින් ඇද වැටුණු හොකී නඟා සිටුවීමට පත්කළ හොකී ව්‍යාපෘති නිලධාරිනි තමාරා ලියනගේ විදේශ සංචාර සඳහා පමණක් උනන්දුවක් දක්වන බවත් හොකී ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සේවාවක් නොකරන බවත් එම ප්‍රවීනයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඇය දැල්පන්දු ක්‍රීඩාව පස්ගිය සමයේ විනාශ කල අයුරින් ම හොකි ක්‍රීඩාව ද විනාශ කරමින් සිටින බව පෙනෙන්නට ඇති සමයක හොකි ප්‍රවීනයන් විසින් පසුගිය සමය පුරාම ඉල්ලා සිටියේ වයස අවුරුදු 25න් පහල කාන්ත හා පිරිමි කණ්ඩායම් තේරීම් කර සංචිත කර ඉදිරි අනාගතය සඳහා හොකී ක්‍රීඩකයන් මෙහෙයවිය යුතු බවයි.

නමුත් ඒ සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා එකඟ වුව ද ඔහුගේ කනින් රිංගා යාමට තරම් හොකී වලපල්ලට ගෙන යන කුමන්ත්‍රණකරුවන් සමත් ය.

දැනට ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පුහුණුවීම් ලබන ජාතික කණ්ඩායම ද වසර 02ක් තිස්සේ තමාරා ලියනගේට අවශ්‍ය පරිදි තේරීම් කමිටුවක් ද නොමැතිව තෝරා ගත් කණ්ඩායමකි. 

ඔවුන් 2016 පෙබරවාරි මස පැවතී දකුණු ආසියාතික තරඟාවලියේ දී බංගලාදේශය හමුවේ 4-1ලෙස පරාජයට පත්විය.

නමුත් නිසි ක්‍රමවේදයකින් තොරව තෝරා ගත් එම කණ්ඩායම ම මෙරට මහජනතාවගේ බදු මුදල් යොදා ගනිමින් පුහුණු වීම් සඳහා යෙදවුව ද එම වසර අවසානයේ ම යලිත් 9-0 ලෙස බංගලාදේශය හමුවේ දැවැන්ත පරාජයකට ලක්විය.

මොවුන් පසුගිය වසර දෙක තුලම එකම කණ්ඩායමක් පුහුණු කරමින් සිටියි. එසේම පසුගිය වසර දෙක පුරාවට ම තේරීම් කමිටුවක් පත් නොකිරීමට ද මෙම කුමන්ත්‍රණකරුවන් කටයුතු කලේ හොකී ක්‍රීඩාවට ආදරය කරන ප්‍රවීනයන් හා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විරෝදය හමුවේ ය.

කණගාටුවට කරුණ නම් මෙම සුක්ෂම වංචා සඳහා සුදුසුකම් නොමැතිව පත්වූ බාලක කණ්ඩායමේ නායකයා සහ උප නායකයාද සහය වීමයි.

මෙම තත්ත්වය හමුවේ හොකී ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ එකම කණ්ඩායමක් යොදවා සංචාර යාමෙන් නොව එම සම්පත් යොදවා පාසල් ක්‍රීඩකයන් ඇතුළු කනිෂ්ඨ කණ්ඩායම් සුදානම් කිරීම සහ වසර 03කින් පමණ නොපැවත් වූ ජාතික ශුරතා තරගාවලිය පවත්වා දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගත යුතු බවයි.

කෙසේ නමුත් අපට කියන්නට ඇත්තේ නම් කාලයක පටන් ඔඩු දුවන හොකී පිළිකාව නිසා ළඟදීම හොකී මිනී පෙට්ටියේ අවසන් ඇනයත් ගැසීමට ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වනු ඇති බවයි.

Share on Google Plus