මේ සතියේ රන්ජන්ට නඩු - හිරේ යන්න ලෑස්‌තියි රන්ජන් කියයි.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම සතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී සියලු නීතිඥවරුන් ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීම පෙරේදා රැස්‌වූ බව කී යූ. ආර්. ද සිල්වා මහතා මින් පෙර සංගමයේ කාරක සභාවේදී ද රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කරමින් කර තිබූ ප්‍රකාශය හෙළාදුටු බව කීවේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන්ට අපහාස වන ආකාරයට කළ ප්‍රකාශ පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා රන්ජන් රාමනායක මහතාට දින දාහතරක කාලයක්‌ ලබා දුන්න ද එම කාලය අවසන් වීමට තවත් දින හතක්‌ පමණ තිබියදීත් රාමනායක මහතා නඩුවට සූදානම් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇතැයි කීය.

එම නිසා දින දාහතර යැමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම සතිය තුළ රාමනායක මහතාට එරෙහිව නඩු පවරන බව කී ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ යටතේම ඒ මහතාට එරෙහිව තවත් නඩු දෙකක්‌ දැනටමත් පිටස්‌තර පාර්ශ්වයන් දෙකක්‌ විසින් ගොනු කර ඇතැයි කීය.

එම නඩු දෙක ලබන 13 වැනිදා කැඳවීමේ සූදානමක්‌ ඇති නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නඩුව ද එදිනම කැඳවීමට හැකිවන පරිදි මෙම සතිය තුළ තම නඩුව ගොනු කරන බව ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ඕනෑම වෘත්තියක කළු අශ්වයන් සිටිය හැකි බව ද බහුතරය එසේ දූෂිතයන් නොවන බව ද කී ජනාධිපති නීතිඥවරයා රන්ජන් රාමනායක මහතා විසින් නීතිඥවරුන් සහ විනිසුරුවරුන් බහුතරය ගැන සඳහන් කරමින් ඔවුන්ට අපහාස කළ බව ද කීවේය.

රට තුළ නීතිඥවරුන් දහඅටදහසක්‌ සහ විනිසුරුවරුන් පන්සියයක්‌ පමණ සිටින බව ද රන්ජන් රාමනායක මහතා ඔවුන් සියලු දෙනාට අපහාස කරමින් අධිකරණයට ද අපහාස කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

මේ නිසා රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වහා නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී ඒකමතිකව තීරණය කළ බව ද හෙතෙම කීවේය.

අවුරුදු දෙකකට හිරේ යන්න ලෑස්‌තියි - රන්ජන් කියයි

රටේ නීතිය සහ ස්‌වාධීනත්වය ගැන අවංකව අදහස්‌ ප්‍රකාශ කර අවුරුදු දෙකකට සිරගතවීමට තමන් සූදානම් බව සමාජ සේවා සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. 

විනිසුරුවරුන් සහ නීතිඥයින් පිළිබඳ කළ ප්‍රකාශයකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කළ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.

ඔය කාරණාව සම්බන්ධයෙන් දැනටමත් බොදුබල සේනාවේ හිමිනමක්‌ සහ තවත් පුද්ගලයෙක්‌ මට එරෙහිව නඩු දමා තිබෙනවා. දැන් නීතිඥ සංගමයත් නඩු පවරනවා. මම නඩුවකට ලෑස්‌තිය. ඕනෑතරම් කරුණු මා ළඟ තිබෙනවා. තව තවත් තොරතුරු ගලාගෙන එනවා.

මම කියන්නේ ඔක්‌කොම විනිසුරුවරුන් දූෂිතයි කියා නොවේ. දණ ගසා වඳින්න පුළුවන් විනිසුරුවරුත් ඉන්නවා. පසුගිය දවසක අපි දැක්‌කා එවැනි විනිසුරුවෙක්‌ උතුරේදී. ඒ වගේම තමයි සරත් අඹේපිටිය විනිසුරුතුමා. මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ කියන්නේ නීතිඥවරුන්, කොල්වින් ආර්. ද සිල්වා දක්‌ෂ නීතිඥයෙක්‌. ඒත් නීතිය වැරදි විදිහට යොදා ගත් කෙනෙක්‌. මිනීමරුවන්ගෙන් සල්ලි අරන් මිනීමරුවන් බේරන නීතිඥවරු ඉන්නවානේ.


මම අධිකරණයට, නීතියට ගරු කරනවා. එස්‌. බී, ඇමැතිතුමාවත් අවුරුදු දෙකකට හිරේ ඇරියනේ.මමත් ලෑස්‌තියි හිරේ යන්න යෑයි රන්ජන් රාමනායක මහතා කීවේය.

Share on Google Plus