මීළඟ ජනාධිපති කවුද?


-උපාලි ද සේරම්

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති කවුරුන්ද? මේ වන විට දේශපාලන කරලිය තුළ කතා බහට ලක්‌වන මාතෘකාවක්‌ බවට පත්වී ඇත. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් ඉදිරිපත් වන අපේක්‌ෂකයා පිළිබඳව තවම පැහැදිලි චිත්‍රයක්‌ දැකිය නොහැකිය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‌ෂය නම් මීළඟ ජනාධිපතිවරණය සඳහා සිය අපේක්‌ෂකයා ලෙස හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඉදිරිපත් කිරීම කෙරෙහි කිසියම් සැලසුමක්‌ ක්‍රියාත්මක කරන බවක්‌ දක්‌නට ඇත.

එක්‌සත් ජාතික පක්‌ෂයෙන් අපේක්‌ෂකයෙක්‌ ඉදිරිපත් කරනවා නම් බොහෝ විට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය හැකිය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 වසරේ ජනාධිපතිවරණයට පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් වූයේ පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් ජනාධිපතිවරයා බලයට පත්වී වසර දෙකක්‌ ගතවී ඇතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යම් යම් සංශෝධන කරනු ලැබුවත් එය සම්පුර්ණයෙන් අහෝසි කිරීම සදහා ගනු ලැබූ පැහැදිලි ක්‍රියා මාර්ගයක්‌ දක්‌නට නැත. එනිසා 2020 වසරේදී බොහෝ විට ජනාධිපතිවරණයක්‌ පැවැත්වෙනු ඇත. ඉන් තේරී පත්වන තැනැත්තා ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපති බවට පත්වේ. 7 යනු බොහෝ දෙනා පවසන වාසනාවන්ත අංකයකි. ඒ අනුව 2020 වසරේදී පත්වන ජනාධිපතිවරයා 'ලකී සෙවන්' හෙවත් වාසනාවන්ත ජනාධිපති බවට පත්වනු ඇත.

මෙම වාසනාවන්ත ජනාධිපතිවරයා බවට පත්වීමට මේ වන විට විවිධ දේශපාලන චරිත සෙමින් සෙමින් තම පසුබිම සකස්‌ කර ගැනීමට සැලසුම් සකස්‌ කරගෙන යනු දැකිය හැකිය. ඒ සදහා පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද සිටින බව දේශපාලන කරලියේ කතාබහට ලක්‌වේ.

පසුගියදා සිය ඇමැති ධුරයෙන් ඉවත් කළ විජයදාස රාජපක්‌ෂ මහතා ද ඉදිරියේදී පොදු අපේක්‌ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට පියවර ගනු ඇතැයි දේශපාලන කරලිය තුළ යම් යම් මත පළවේ.

රටේ නායකයා බිහිවන්නේ දේශපාලන පෞරුෂයට වඩා පවතින අවශ්‍යතාව අනුව බව 1994 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පැහැදිලි විය.

1977 වසරේ සිට පැවති එක්‌සත් ජාතික පක්‌ෂ 17 වසරක පාලනය තුළ හෙම්බත් වී සිටි ජනතාවට වෙනසක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව දිගු දේශපාලන අත්දැකීම් නොමැති නමුත් පැවති සමාජය තුළ ආකර්ෂණීය චරිතයක්‌ බවට පත්වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 වසරේදී පොදුජන එක්‌සත් පෙරමුණින් තරග කර ඡන්ද 4,709,205 ක්‌ ලබා 62.28% ප්‍රතිශතයක්‌ සහිතව ජයග්‍රහණය කළාය. ඇය සමඟ ප්‍රතිවාදී අපේක්‌ෂකයා ලෙස තරග කළ එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා මැතිවරණ ප්‍රචාරණ කාලසීමාවේදී එල්. ටී. ටී. ඊ. බෝම්බ ප්‍රහාරයට ලක්‌ව ඝාතනයට ලක්‌විය. එම හිඩැස පිරවීමට ඉදිරිපත් කළ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 2,715,283 කි. එය 35.91% ප්‍රතිශතයකි.

1994 වසරේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියට රටේ තරුණ තරුණියන්ගේ ද ආකර්ෂණය තිබුණි. ඊට හේතුව වූයේ ඇය ජනප්‍රිය නළුවකු මෙන්ම දේශපාලන කරලියේ මතු වූ තවත් ජනප්‍රිය දේශපාලනඥයකු වූ විජය කුමාරතුංග මහතාගේ බිරිඳ ද වීමය. විජය සිය දේශපාලන දිවියේ ඉහළම ජනප්‍රියත්වයට පත්වෙමින් සිටියදී ඝාතනයට ලක්‌වීම නිසා තරුණ තරුණියන් තුළ ඔහු කෙරෙහි පැවති කැමැත්ත ප්‍රකාශ වූයේ ඔහුගේ බිරිඳ ඔස්‌සේය.

ඇයගෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්‌ෂ මහතා 2005 වසරේදී ඡන්ද 4,887,152 ක්‌ ලබා 50.29% ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන්නේ ප්‍රතිවාදියා වූ එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්කරමිනි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 4,706,366 ක්‌ හිමිවිය එය 48.43% ප්‍රතිශතයකි.

එම ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්‌ විය. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම රට එක්‌සේසත් කිරීම යන දේශප්‍රේමී සටන් පාඨ සමඟ ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික හෙළරුමය වැනි පක්‌ෂ ද මහින්ද රාජපක්‌ෂ මහතාගේ සහායට එක්‌විය.

මහින්ද රාජපක්‌ෂ මහතා බලයට පත්වී වසර 04 ක්‌ ඇතුළත කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත්කර රට එක්‌සේසත් කිරීමට හැකිවීමත් සමඟ ඔහු 2010 වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ විජයග්‍රාහී නායකයකු ලෙසිනි. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඔහු සමඟ එක්‌ව කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීමට දිවි පරදුවට තබා සටන්වැදි නායකයකු වන එවකට යුද හමුදාපතිව සිටි සරත් ෙµdන්සේකා මහතාය.

ජනාධිපතිවරණ මැතිවරණයේ පළමු සති කිහිපය දොaලනය වූයේ සරත් ෙµdන්සේකා මහතා වෙතය. යුද වීරයා සහ යුද නායකයා අතර පැවති එම සටන වෙනස්‌ වන්නට පටන්ගත්තේ අවසන් සති කිහිපයේදීය.

සරත් ෙµdන්සේකා මහතාගේ සැරපරුෂ වචන සහ සිවිල් සමාජයට නොගැලපෙන හැසිරීම නිසා ඔහු බලයට පත්වුවහොත් රට තුළ යුද නීතියක්‌ ඇති වේ යෑයි ජනතාව තුළ ඇතිවූ බිය නිසා මහින්ද රාජපක්‌ෂ මහතා කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩිවන්නට විය. එහිදී කාන්තාවන් තුළ ඔහු කෙරෙහි පැවති කැමැත්ත ඉහළ යැම නිසා මැතිවරණ දින උදැසන ඡන්ද පෝළීමේ වැඩිපුරම දැකගත හැකිවූයේ කාන්තාවන්ය.

එහි ප්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්‌ෂ මහතා ඡන්ද 6,015,934 ක්‌ ලබා 57.88% ප්‍රතිශතයක්‌ ලබාගන්නා විට සරත් ෙµdන්සේකා මහතාට ලැබුණේ ඡන්ද 4,173,185 කි. එය 40.15% ප්‍රතිශතයකි.

ලක්‌ෂ 19 කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයකින් මහින්ද රාජපක්‌ෂ මහතා ජයග්‍රහණය ලබන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ යන පක්‌ෂවල සහාය සරත් ෙµdන්සේකා මහතාට හිමිව තිබියදීය.

2015 වසරේදී සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස්‌ වූ සිදුවීමකි. මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ තරගයට එන්නේ ඔහුගේම පක්‌ෂයේ මහ ලේකම්වරයාය.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ දෙවැනි පාලන කාලය පිළිබඳව ජනතාව තුළ එතරම් පැහැදීමක්‌ තිබුණේ නැත. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන තීන්දු තීරණ ගැනීම කෙරෙහි චෝදනා එල්ල වන්නට විය. ඒ අතර ඉතා දරුණු ලෙස අන්තර්ජාල සමාජ වෙබ්අඩවි හරහා විවිධ කටකතා ප්‍රචාරය වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත්ව ඡන්ද 62,171,612 ලබා 51.28% ප්‍රතිශතයක්‌ සහිතව ජයග්‍රහණය කිරීමය.

මහින්ද රාජපක්‌ෂ මහතාට හිමිවන්නේ ඡන්ද 5,768,090 කි. එය 47.58% ප්‍රතිශතයකි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව ඡන්ද දුන්නේ රට තුළ නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමටය. ආර්ථිකය කළමනාකරණය කිරීමටය. සිදුවූවා යෑයි කියන මහා පරිමාණ දූෂණ වංචා නැති කිරීමටය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට එක්‌සත් ජාතික පක්‌ෂය Rජුවම සහාය දැක්‌වූ අතර ජනතා විමුක්‌ති පෙරමුණ වක්‍රව සහාය පළ කළේය.

රටෙහි විද්වතුන් බහුතරයක්‌ ඡන්දය දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාටය. රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්‌ ඡන්දය දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාටය. ඒ අතර පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛත්වයේ සිටියහ.

මෙම පසුබිම මත පැහැදිලි වන්නේ රටේ නායකයා බිහිවන්නේ පවතින සමාජ අවශ්‍යතාව අනුව මිස ඔහුගේ හෝ ඇයගේ දේශපාලන පසුබිම, පරිණත බවට නොවන බවය. 2020 වසර සඳහා තව වසර දෙකකුත් මාස 03 ක්‌ ඇත. මෙම කාලය තුළ රට තුළ සිදුවන දේශපාලන සහ ආර්ථික වෙනස්‌කම් අනුව 2020 තුළ මතුවන අවශ්‍යතාවට ගැලපෙන නායකයකු පත්කර ගැනීමට ජනතාව පියවර ගනු ඇත.

එනිසා රටේ නායකයන් බිහිකරන්නේ අප යෑයි කියමින් කිසිදු දේශපාලන පක්‌ෂයකට හෝ සිවිල් සංවිධානයකට පුරසාරම් දෙඩිය නොහැකිය. රටේ අවශ්‍යතාවට ගැලපෙන අයුරින් හැඩගැසෙන දේශපාලන පක්‌ෂ සහ සිවිල් සංවිධාන වලට ජනතා මතය ශක්‌තිමත් කළ හැකි මිස ඔවුනගේ අවශ්‍යතාවට අනුව ජනතාව ශක්‌තිමත් කරගත නොහැකිය.

ජනතා මතය යනු දකුණේ බහුතරයක්‌ වූ සිංහල ජනතාව පමණක්‌ නොවන බව ද වටහාගත යුතුයි. උතුරේ ද්‍රවිඩ ජනතාවත් නැගෙනහිර මුස්‌ලිම් ජනතාවත් වතුකරයේ ද්‍රවිඩ ජනතාවක්‌ තීරණාත්මක සාධක බව අමතක නොකළ යුතුය.

එනිසා ජාතිවාදය හෝ ආගම්වාදය තුළින් ගොඩනැඟෙන දේශපාලනඥයන්ට මින් ඉදිරියට රටේ නායකත්වයට පත්විය නොහැකි බව 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව අප අවබෝධ කරගත යුතුයි.

මාධ්‍ය මඟින් ද දේශපාලන චරිත ගොඩනැඟීම වර්තමානයේ පවතින තරගකාරී මාධ්‍ය කලාව තුළ අසීරුය. එනිසා යුද ජයග්‍රහණ, ආර්ථික ජයග්‍රහණ වැනි සටන් පාඨ පමණක්‌ 2020 ජනාධිපතිවරණය සඳහා වලංගු නොවන බව මීළඟ ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් වටහා ගත යුතුය.

ලෝක දේශපාලනය දෙස බලන විට බලවත් රටවල ඉතා දරුණු ලෙස ආර්ථික අර්බුද, පරිසර ගැටලු මතුවෙමින් පවතී. ඒවායේ ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ අප වැනි දියුණු වෙමින් පවතින රටවලටය. එනිසා ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුද, පරිසර ගැටලු අවම කර ගැනීමට සැලසුම් සකස්‌ කර ඒවා ක්‍රියාත්මක කරන අපේක්‌ෂකයාට වැඩි ජනතා ප්‍රසාදයක්‌ හිමිවනු ඇතැයි අනුමාන කළ හැකිය.

එහිදී තරුණ ඡන්ද ආකර්ෂණය කර ගැනීම ද වැදගත්ය. ඒ සඳහා තරුණ තරුණියන්ගේ උගත්කමට ගැළපෙන රැකියා අවස්‌ථා බිහි කළ යුතුවේ. වර්තමානයේ පවතින සාම්ප්‍රදායික රැකියා ද නව තාක්‌ෂණය සමඟ මුසුකර තරුණ තරුණියන්ට සමීප කළ යුතුය.

මේ වන විට ශ්‍රී ලංකාවේ නිදහස්‌ වෙළෙඳ කලාප ආශ්‍රිතව ඉතා උග්‍ර අයුරින් රැකියා පුරප්පාඩු ඇතිවෙමින් පවතී. එම රැකියා පුරප්පාඩු පුරවාගත නොහැකි වී ඇත්තේ ඒවා කෙරෙහි පවතින සාම්ප්‍රදායී ආකල්ප සහ තරුණ තරුණියන් ඒවා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමය.

ඉදිරියේදී කම්කරුවාත්, වෛද්‍යවරයාත් එක සමාන වටිනාකමකින් යුත් මෝටර් රථයක නැඟ එකම ආපන ශාලාවක ආහාර ගැනීමට යා හැකි පසුබිමක්‌ සඳහා ආර්ථිකයක්‌ බිහිකළ යුතුවේ.

අතීතයේදී මෙන් ලෝකය දැකීම වසන් කළ නොහැකිය. තත්ත්පර ගණනින් අන්තර්ජාලය හරහා ලොව දකින්නට හැකියාව පවතී. එනිසා සමාජ මට්‌ටම් පන්ති බේදය ඉතා ශීඝ්‍ර ලෙස දියවී යැමට පටන්ගෙන ඇත.

මේ සියල්ල හඳුනාගෙන 2020 වසරට සැරසෙන අපේක්‌ෂකයනට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු තබාගත හැකිය.


Share on Google Plus