ඉන්දියානු මුස්ලිම් නීතියේ ‘ක්ෂණික දික්කසාදය’ තහනම්. - Info Sri Lanka News | Sinhala

ඉන්දියානු මුස්ලිම් නීතියේ ‘ක්ෂණික දික්කසාදය’ තහනම්.


මුස්ලිම් නීතියේ සඳහන් වන ‘ක්ෂණික දික්කසාදය’ පිළිබඳ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව ඉන්දියාවේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. මෙය, ඉන්දියානු මුස්ලිම් කාන්තාවන්ගේ වෛවාහක අසමානාත්මතාවය පිටුදකින අති දැවැන්ත ජයග්‍රහණයකි.

ඉන්දියාවේ පවතින මුස්ලිම් නීතියට අනුව මුස්ලිම් පුරුෂයෙක් ‘තලාක්’ යන වචනය තුන් වරක් පැවසීම පමණක් තම විවාහක බිරිඳ දික්කසාද කිරීමට සෑහෙයි. මේ අනුව තමන්ට බිරිඳගෙන් වෙන් වන්නට අවශ්‍ය වූ විට “තලාක්-තලාක්-තලාක්”යන වදන් තුන සහිත ලිපියක් පමණක් එවීම පවා සෑහෙයි. මේ අතර මුස්ලිම් පුරුෂයන් දුරකථනයෙන් එසේ තුන් වතාවක් තලාක් යනුවෙන් පවසා සිය බිරිඳ දික්කසාද කරන අතර, නවීන තාක්ෂණය අනුව යන මුස්ලිම් තරුණයන්, වට්ස්අප් භාවිතයෙන් ‘තලාක්’ කියා ඉතාම සරල සහ සාහසික ලෙස සිය බිරිඳ දික්කසාද කර දමති. අවුරුදු දහයක් විස්සක් පවුල් කෑ මුස්ලිම් පිරිමියෙකුට වුවත් තලාක් යැයි තුන් වරක් පැවසීම මගින් ඉතාම සරල ලෙස තම බිරිඳව අඹුකමෙන් එළවා දැමිය හැකිය. 

ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන 'භාරතීය මුස්ලිම් මහිලා ආන්දෝලන්' සංවිධානය විසින් සිදුකළ අධ්‍යයනයකට අනුව මෙසේ තුන් වරක් තලාක් කීමෙන් දික්කසාද කරන මුස්ලිම් කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ අගයකි. 

ඉන්පසු එම කාන්තාවන්ව පදිංචි නිවසින් හෙවත් වෛවාහක නිවසින් එළවා දමන්නට ද මුස්ලිම් පුරුෂයන්ට බලය තිබේ. එසේ එළවා දමන විට ජීවත් වීම සඳහා යම්කිසි මුදලක් ප්‍රදානය කිරීමේ සිරිතක් පවා නොමැත. ඉන්දියානු පුරුෂෝත්තම මුස්ලිම් සමාජය තුළ මුස්ලිම් කාන්තාවන්ගෙන් රැකියාවල නිරත වන්නේ 14%ක ප්‍රතිශතයක් පමණි. මේ නිසා බහුතර ඉන්දියානු මුස්ලිම් කාන්තාවෝ සැමියා විසින් පන්නා දැමීමත් සමග ජීවනෝපායක් නොමැතිව අන්ත අසරණ තත්වයට පත් වෙති. 

තවද කිසිම අවස්ථාවකද මුස්ලිම් ස්ත්‍රියකට මේ ක්‍රමයෙන් තම පුරුෂයාව දික්කසාද කළ නොහැකිය. ඔවුන් සිය පුරුෂයාගෙන් දික්කසාද වන්නට අදහස් කරයි නම් මුලින් පුරුෂයාගෙන් ඒ සඳහා අවසර ලබාගත යුතුය. එපමණක් නොව කාතිවරයා හෝ ඉස්ලාමයේ වෙනත් නිසි බලධරයෙකුගෙන් ද අවසරය ලබාගත යුතුය.

මේ සාහසික සහ අසාධාරණ නීතියට විරුද්ධව මැයි මාසය වන විට ඉන්දියානු මුස්ලිම් කාන්තාවන් පස් දෙනෙක් විසින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි. ඔවුන් පවසා සිටියේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර තිබෙන සමානාත්මතාවයේ අයිතිය මේ අන්දමින් දික්කසාද කිරීම නිසා තමන්ට අහිමි වන බවයි. මෙම මුස්ලිම් කාන්තාවන්ට සහාය පළ කරමින් කාන්තා සංවිධාන තුනක් විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණි. 

ඉන්දියාවේ ද ශ්‍රී ලංකාවේ මෙන්ම සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හි සඳහන් ය. නමුත් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද ඉස්ලාම් භක්තිකයන්ගේ ආගම, විවාහය යනාදිය පාලනය වන්නේ පුද්ගලික නීතියක් වන මුස්ලිම් නීතිය මගිනි. මුස්ලිම් ආගමිකයෙකු වී උපත ලැබීම, මුස්ලිම් නීතියෙන් පාලනය වීමට තිබෙන මූලික අවශ්‍යතාවයයි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව තුළ ද විවාහය සහ දික්කසාදය සම්බන්ධයෙන් සියලු පුරවැසියන්ට සමාන ලෙස බලපවත්වන ඒකාකාරී නීතියක් හෝ නීති පද්ධතියක් නැත. 

මේ අනුව මෙම මූලික අයිතිවාසිකම් නඩුකරවලින් ප්‍රශ්නගත වූයේ ආගමික නිදහස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂණය කර තිබෙන තනි පුද්ගල අයිතිවාසිකම් අතර ඇතිවන ගැටුමක ප්‍රතිඵලය කුමක් විය යුතුද යන්නයි. ඉන්දියාව තුළ මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම්වල ආරක්ෂකයා වශයෙන් පෙනී සිටින්නේ 'සමස්ත ඉන්දියා පුද්ගලික නීති මණ්ඩලය' නමැති ආයතනයයි. ඔවුන් මීට පෙර තර්ක කර තිබුණේ ක්ෂණික විවාහය ඉස්ලාම් භාවිතාවේ කොටසක් වන හෙයින්, තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අනුව යමින් එම අයිතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර තිබෙන බවයි. නමුත් මේ ප්‍රතිතර්කය බිඳ හෙළමින් අද ලැබුණු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂණය කර තිබෙන සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන හෙයින් මින් ඉදිරියට ඉන්දියාවේ මුස්ලිම් කාන්තාවන් ව ‘ත්‍රිපල් තලාක්’ හෙවත් 'තෙවරක් තලාක් කීමෙන්' දික්කසාද කරලීම තහනම් ය. 

මේ අතර සමස්ත ඉන්දියා පුද්ගලික නීති මණ්ඩලය නියෝජනය කරමින් නීතීඥ කපිල් සිබාල් මෙසේ අසයි. “තෙවරක් තලාක් කීම මගින් දික්කසාද කිරීමේ ක්‍රමය අවුරුදු 1400 ක් පැරණියි. ඉතින් ඒක ව්‍යවස්ථා විරෝධී වෙන්නේ කොහොමද...?” මේ පුද්ගලයා නීතීඥයෙකුට අමතරව හාවඩ් නීති පීඨයේ උපාධි ධරයෙක් බවත්, ඉන්දියාවේ හිටපු නීතිය හා යුක්තිය පිළිබඳ ඇමතිවරයෙකු බවත් අමතක නොකරන්න!

ඉස්ලාම් ආගම, තම නීතිය සාමාන්‍ය නීතිය වශයෙන් සලකන්නේ ආගමේ නීතියයි. නමුත් ශුද්ධ වූ කුරානයේ ද මේ තලාක් ක්‍රමයේ ක්ෂණික දික්කසාදය ගැන කිසිවක් සඳහන් නොවේ. නමුත් හාදිත් හෙවත් මහම්මුද්තුමාගේ ඉගැන්වීම්වල මෙය අන්තර්ගත ය. කුරානයට වඩා හාදිත් අධිකාරී බලයෙන් අඩු බවට මතයක් තිබෙන නමුත් ඉස්ලාමීය ඩොක්‍රයිනය හැඩගැන්වීමෙහිලා මුස්ලිම් ලෝකය තුළ තවමත් මෙයින් විශාල බලපෑමක් සිදුවේ. 

ඉන්දියානු ජනගහනයෙන් 14% ක් මුස්ලිම්වරුන් ය. ආගමික අර්ථයෙන් ගත් විට ඉන්දියානු මුස්ලිම්වරුන් යනු ඉන්දියාවේ වෙසෙන විශාලතම ආගමික සුළුතරයයි. රටේ සුළුජාතික අයිතීන්ගේ රැකවරණ දේවතාවා වශයෙන් පෙනී සිටින ඉන්දියානු ජාතික කොංග්‍රසය, මුස්ලිම් දික්කසාද නීතිය වෙනස් කිරීමට සැලකිය යුතු යමක් කිරීමෙන් හිතාමතාම වැළකී සිටියි. මේ අතර දැඩි හින්දු භක්තිකයෙක් වන අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පාලනය තුළ ද ඉන්දියානු මුස්ලිම්වරුන්ගේ සිතේ නිදහස අඩු ය. නමුත් මුස්ලිම් ඡන්ද මත ඉන්දීය දේශපාලනය තීරණාත්මක ලෙස රඳා නොපවතින නිසාදෝ මෝදි රජය, ක්ෂණික දික්කසාද තහනම් කිරීමට සහාය පළ කරයි. 

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ කවදත් ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ මහජන සුබසිද්ධිය තහවුරු කරනසුලු කශේරුවයි. කලාපයේ නීති ක්ෂේත්‍රයට ‘මහජන අර්ථසිද්ධි නඩුකර‘ සංකල්පය හඳුන්වා දුන්නේ ඉන්දියානු අධිකරණයයි. ලෝකයේ හොඳම තුන්වැනි තොරතුරු  නීතිය බවට පත්ව තිබෙන ලංකාවේ තොරතුරු නීතිය තුළ පුරවැසියෙකුට තොරතුරක් ලබාගැනීමට අයිතිය තිබේද යන්න තීරණය කරන අවසානාත්මක සාධකය වන්නේ ද මෙම මහජන සුබසිද්ධිය හෙවත් මහජන අර්ථසිද්ධියයි. මේ වන විට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, බහුතරයේ සතුට වෙනුවෙන් හැදූ චිරාගත ආගමික නීති පවා නූතන මානව හිමිකම් පථය ඔස්සේ අර්ථදැක්වීමට නොපසුබට වන බව, මෙම ප්‍රශංසනීය මූලික අයිතිවාසිකම් තීන්දුවෙන් පෙනේ. 

නමුත් ආසියාවේ යුක්තිය කිසිවිටෙක දේශපාලනයෙන් වියුක්ත නොවේ. 1985 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මුස්ලිම් ලෝකය තුළ ආන්දෝලනයට ලක්වන දික්කසාද නඩුතීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. එහිදී වයස අවුරුදු 62 ක් වූ සිය විවාහක බිරිඳ දික්කසාද කරදැමූ මුස්ලිම් පිරිමියා විසින් මසකට ඩොලර් 15 බැගින් ඇයට දිවි ඇති තෙක් දික්කසාද දීමනාවක් ගෙවිය යුතු බවට තීන්දු විය. කුමන හෝ හේතුවක් නිසා මේ නඩු තීන්දුවෙන් කොංග්‍රසයට බෙහෙවින් රිදුණේය. ඔවුන් කළේ වහාම එම නඩු තීන්දුව බල රහිත වන සේ නව නීතියක් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමයි. ඒ අනුව මුල් මාස 3 න් පසුව සැමියා විසින් දික්කසාද කළ මුස්ලිම් බිරිඳට දීමනාව ගෙවිය යුතු නොවන අතර ඒ වෙනුවට ඒ මුදල ඇගේ ඥාතීන්ට හෝ මුස්ලිම් පුණ්‍ය ආයතනවලට ගෙවිය යුතු බවට නව නීතියක් ගෙන එන ලදී. ඒ අනුව අවසානයේ මුස්ලිම් කාන්තාවන්ට මාස 3 න් පසු සිදුවන්නේ සිය ඥාතීන් හෝ එකී පුණ්‍ය ආයතන වෙත ගොස් තමන්ට ජීවත් වීම සඳහා මුදල් දෙන ලෙස අයදින්නට ය. 

ලංකාවේ මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයසක් තවම නැත. වයස අවුරුදු 8 සපිරුණු කුඩා දැරියක් පවා මේ අනුව විවාහ කර ගත හැකිය. ලංකාවේ සාමාන්‍ය විවාහ නීතිය අනුව ස්ත්‍රියකට හෝ පුරුෂයාට දික්කසාදය ලබාගත හැකි ක්‍රමය අනෙක් පාර්ශවයේ වෛවාහක වරද ඔප්පු කිරීමයි. නමුත් ලංකාවේ බලපවත්වන මුස්ලිම් නීතියට අනුව සිය බිරිඳ අනාචාරය වැනි වෛවාහක වරදක් කළත් නැතත්, ඇය තමන් වෙත යුතුකම් ඉටුනොකරන්නේ යැයි මුස්ලිම් අධිකරණය හෙවත් ක්වාසි/කාති අධිකරණය වෙත ගොස් සරල ලෙස පවසා සිටීම මගින් ම දික්කසාදය ලබාගත හැක. ඒ අතරම මුස්ලිම් පුරුෂයන්ට බහු විවාහ වරප්‍රසාදයද  හිමි ය. ලාංකීය මුස්ලිම් සමාජය තුළ දික්කසාදය ලබාගත් කාන්තාවකට නැවත විවාහ වීමේදී ද විවිධ නෛතික බාධක තිබේ. 

ඉතින් ඉන්දියාවට සාපේක්ෂව අපි කොතැනද?


-නීතීඥ රදිකා ගුණරත්න

Share on Google Plus