රවී කරුණානායක විනිසුරුතුමියකට අපහාසයක් කරලා?


මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් හා විවිධ පිරිස් දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.

නීතියේ ආධිපත්‍යයට මෙසේ අභියෝග එල්ල කිරීම හරිද? වැරැදිද? අපි ප්‍රශ්නය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වාට ඉදිරිපත් කළෙමු.

මෙම ජනාධිපති කොමිසමේ කටයුතු තුළින් නීතිය හරියාකාර පවත්වා ගෙන යන බවත් නීතිය ඉටුවන බවත් සමාජයට පැහැදිලි වෙනවා. මේ සම්බන්ධව මත සමාජයට පළ කළ යුතු නැහැ එය අවසන් වනතුරු. නමුත් මේ කොමිසම වැදගත් මොකද, එහි ක්‍රියාකාරිත්වය. ජනතාවට පෙනෙනවා, ජනතාව දන්නවා සත්‍ය ලෙසම සිදුවන්නේ කුමක්ද යන්න. මේක ඉතාමත් විනිවිදභාවයෙන් යුතු කොමිසමක් හැටියටයි අපි දකින්නෙ.

• එහෙම නම් ඇයි මේ ඇතැම් පිරිස් චෝදනා කරන්නේ කොමිසම පක්ෂග්‍රාහීයි. සමහර නීතිඥයන් දේශපාලන වශයෙන් කටයුතු කරනවා ආදී වශයෙන්.

මෙම විමර්ශනයේදී චෝදනා එල්ල වන අය, වරදකරුවන් ලෙස ඇඟිල්ල දික්වෙන අය සතුටු නැහැ ඔවුන් සම්බන්ධ සත්‍ය තොරතුරු ජනතාව අතරට යනවාට. ඒ නිසා ඔවුන්ට අවශ්‍යය යුක්තිය පසිඳලීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධව සමාජය තුළ වැරැදි ආකල්පයක් ඇති කරන්න. ඒ උත්සාහය තමයි අපි මේ දකින්නේ.

• එහෙම වැරැදි අර්ථ නිරූපණ සමාජ ගත කරන්න නීතියෙන් බාධාවක් නැද්ද?

අධිකරණය ස්වාධීන ආයතනයක්. අධිකරණයට ශක්තියක් දෙන්න තමයි නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන්නේ. එක මේ FCID එක වගෙ ආයතනයක් නොවේ. චිරාත් කාලයක් තිස්සේ රජය වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක්. අපි හිතමු ඔබට දැන් කෙනෙක් පිහියෙන් ඇන්නා. එවිට ඒ පුද්ගලයාට නඩු දමන්නේ රජය විසින්. මහජන සුබසිද්ධිය සඳහා අවශ්‍ය වන පසුබිම සකස් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින්. නමුත් නීතිපති දෙපාර්මේන්තුවට පුළුවන්කමක් නැහැ, තමුන්ගෙ හොඳකම ගැන ප්‍රකාශ කරන්න. ඒක සදාචාරාත්මකව ඒ ගොල්ලන් කරන්නේ නැහැ.

• එවැනි ස්වාධීන ආයතනයකට, පොදුවේ අධිකරණයට මෙහෙම ඇඟිල්ල දික්කරන්න පුළුවන්ද?

බැහැ. එහෙම වෙනවා නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැටියට අපිට වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවක ඉදිරියට ඇවිත් ජනතාව දැනුවත් කරන්න. අපේ සමාජයේ නීතියේ පැවැත්මට කවුරු හරි යම් තර්ජනයක් කරනවා නම් නීතිඥ සංගමය ඊට එරෙහිව පෙනී සිටිනවා. අපේ කෘත්‍යාධිකාරි සභාව මේ ගැන කතා කරලා මට බලය දුන්නා මේ වැරැදි ප්‍රචාරවලට විරුද්ධව ක්‍රියා කරන්න.

• බැඳුම්කර කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන සැකසංකා ඇති කරලා නීතිපති දෙපාර්තමේන්තුව ඊට වගකිව යුතුය කියා කිසිවකු කියනවා නම් එය කොමිසමට අපහාස කිරීමක් නොවේද?

පැහැදිලිවම අපහාසයක්.

• කොමිසම ඉදිරිපිට මෙවැනි දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වූයේ රවි කරුණානායක ඇමැතිවරයා පමණක්ද?

නැහැ. මීට පෙර ප්‍රශ්න කිරීම්වලදීත් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිව තිබුණා. ඒක ඕනම අධිකරණයකදී සිදුවන දෙයක්. වැරැදි කරුණු පදනම් කර ප්‍රශ්න කරනවා නම් වහාම අනෙක් පාර්ශ්වය නැඟිට ඒ අවස්ථාවේම පිළිතුරු දෙනවා. ප්‍රශ්න කරන විට හඬ උච්චාරණය උස් පහත් වෙන්න පුළුවන්. එක් එක් කෙනාගේ ඉදිරිපත් කිරීමේ සහ ප්‍රශ්න කිරීමේ විලාසයන් තිබෙනවා. යම් අවස්ථාවක එවැනි ප්‍රශ්න කිරීමත් ද්වේශයෙන් කරන බවට ඒත්තු යනවා නම් කොමිසම එයට වහාම මැදිහත්ව එය වළක්වනවා. ඒක තමා පවතින සම්ප්‍රදාය.

• යම් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව ද්වේශ සහගතව ක්‍රියා කරන බවට චෝදනා කරනවා නම්,

එකක් හිතන්න. මේ කොමිෂන් සභාව සමථ මණ්ඩලයක් නෙවෙයි. අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහළම විනිශ්චයකාරතුමන්ලා කණ්ඩායමක් එතැන ඉන්නවා. ඒ අය අභියෝගයට ලක් කරන්න බැහැ. එය නීතියේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක්. නීතිඥ සංගමයට බැහැ ඒකට ඉඩ දෙන්න. ඒ නිසයි අපි අපේ මතය ඉදිරිපත් කරන්නෙ.

• මම අහන්නෙ මේ රටේ ගොවියන්ට, කම්කරුවන්ට හා සාමාන්‍ය පුරවැසියන්ට එක විදියකටත් සුදු කරපටි අපරාධකරුවන්ට තවත් විදියකටත් සලකන්න නීතියෙන් ඉඩක් තියෙනනවාද?

කොහෙත්ම නැහැ. මිනිස්සු අධිකරණය හමුවේ බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙනවා. ස්ත්‍රී දූෂණයකදී වින්දිත තැනැත්තිය නැවත කීපවාරයක් අධිකරණය හමුවේ දූෂණයට ලක් වෙන බවයි කියන්නේ. අධිකරණය සෙනඟ ඉවත් කර වින්දිතයා අපහසුවට පත්වීම අඩු කරන්න ක්‍රියා කරනවා. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි.

• ටයි කෝට් කාරයන් නීතිය හමුවේ විශේෂ ස්ථාන වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා?

ඔය කියන පුද්ගලයාට සල්ලි තියෙනවා කියලා ඒක කියන පුද්ගලයට සල්ලි නැහැ කියලා නීතිය වෙනස් වෙන්නෙ නැහැ. නීතිය ඉදිරියේ කවුරුත් සමාන විය යුතුයි. විනිශ්චයකාරවරු තීන්දු ගන්නේ අධිකරණයට ඉදිරිපත්වන සාක්ෂි මතයි. නීතිපති දෙපාර්තමේන්තුවත් නීතිඥයනුත් අධිකරණ සහායකයන් යුක්තිය ඉටු කිරීමට සහාය වෙනවා.

• 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා ඔහුට හිමිව තිබූ මුක්තිය අත්හැරියා. දැන් ජනපති වුවත් නීතිය ඉදිරියට එන අවස්ථා ඇති විය හැකියි.

ජනපති, අගමැති, ඇමැති කියල අධිකරණයේදී විශේෂත්වයක් නැහැ. ඕන නම් අසීරුතාවක් තිබේ නම් සාක්කි දෙන අවස්ථාවේ පුටුවක් ඉල්ලන්න ඕනම කෙනකුට පුළුවන්.

• මේ රටේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වසනීයත්වය නේද සියල්ලටම වඩා වැදගත්. සාහසික ලෙස වැරැදි මතයක් ජනගත කරන්න නීතියේ ඉඩක් තියෙනවාද?

අධිකරණයට අපහාස කළාය කියන චෝදනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක කොමිෂන් සභාව තීරණය කළ යුතු දෙයක්. මට ඒ ගැන කියන්න බැහැ. නමුත් මාධ්‍යයට පුළුවන් මේ ප්‍රචාරය කරන වැරැදි ආකල්පය විද්වතුන් හරහා නිවැරැදි කරන්න. එවිට සමාජය තීරණ ගනීවි.

• පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සම්බන්ධ නඩු 50ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී ඇති බවට චෝදනාවක් නැඟෙනවා. ඇයි එහෙම වෙන්නේ. ඒකත් දේශපාලන බලපෑමක් බව ජනතාව සැක කරනවා.

මේ 50ට විශේෂත්වයක් දක්වන්න බැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ නඩු නීතිපති උපදෙස් ඉල්ලා දහස් ගණනක් සිරවී තිබෙනවා. උසාවියකට ගිහින් ටික වේලාවක් බලා ඉන්න කොතරම් නඩු සංඛ්‍යාවක් නීතිපති උපදෙස් කියලා පැත්තට දානවද? මෙතැනදී වෙන්නේ රජයේ නීතිඥවරු මදිකම. බඳවා ගත්තත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න ඉඩ නැහැ. අනෙක නඩු ගොනු අසම්පූර්ණව ඉදිරිපත් කිරීම. යම් ගොනුවක් වුවමනාවෙන් යටගහගෙන ඉන්නවා කියා ඔප්පු කරන්න පුළුවන් නම් අපිට ඒ ගැන හොයන්න පුළුවන්.

• සාමාන්‍ය ජනතාවට සැක සංකා ඇති වීම සාධාරණයි. පසුගිය අවුරුදු දෙකහමාර තුළ දේශපාලනඥයන්ට සම්බන්ධ වංචා නඩු එකකවත් තීන්දුව දුන්නේ නැහැ.

ඔව්. සාමාන්‍ය ජනතාව නීති විශාරදයෝ නෙවෙයිනේ. ඔහු වංචා කළ බව මාධ්‍යයේ ප්‍රචාරය වූ පමණින් නීතිපතිට තීන්දු ගන්න බැහැ. නීතියේ ක්‍රමවේදයක් තියෙනවා. නඩු ගොනුවක් ආව පළියට අධි චෝදනා පත්‍රයක් භාර දෙන්න බැහැ.

• අධිකරණ ඇමැතිවරයකුගේ නියෝග හෝ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුවට යම් නඩු ගොනු පමා කිරීමේ හැකියාවක් නැද්ද?

අධිකරණ ඇමැතිවරයා මේවා කඩිනම් කරන්න කීවත් නීතිපති කාර්ය මණ්ඩලයට පුළුවන්ද අංග සම්පූර්ණ නොවූ නඩු ගොනු සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකිද බැහැ. ඒවා ආපසු යවන්න වෙනවා. යම් ගොනුවක් යටපත් කරගෙන සිටින බවට අංක සහිතව දැනුම් දුන්නොත් නීතිපතිතුමා ඒ ගැන ක්‍රියා කරාවි. සමහර පරීක්ෂණ ගොනුවලින් නඩුවක් ගෙනියන්න බැහැ. එවිට නීතිපති ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්නෙ නැහැ මේකට නඩු පවරන්න බැහැ කියලා. විත්තිකාරයටවත් ඒක දැනුම් දෙන්නෙ නැහැ. විත්තිකරු මුදා හරින්න පොලිසියට දැනුම් දෙනවා. නඩුව ඉදිරියට ගෙන නොයන බව. වැරැදි මතයක් ජනගත කිරීම අපරාධයක්. නීතියෙන් සාධාරණය ඉටු නොවනවාය කියන හැඟීම ජනතාව අතරට ගියොත් ඔවුන් නීතිය අතට ගන්නවා.

• මේ ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ මත ප්‍රචාරය වෙනවා?

මම ෆේස්බුක් එකේ මත ප්‍රචාරයට විරුද්ධයි. කිසිම පදනමක් නැති මත විශාල ලෙස පතුරුවා ජනමතය විකෘති කරනවා. මතවාද අවසානෙ ද්‍රව්‍යමය බලවේග බවට පත් වෙනවා. ඒ ගලායෑම නවත්වන්න බැහැ. ඒක ව්‍යසනයක්.

• අධිකරණ ඇමැතිවරයාට තමන්ගේ දේශපාලන මතිමතාන්තර මත පදනම්ව ස්වකීය අභිමතය නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කාන්දු කරවන්න පුළුවන්ද?

එහෙම දෙයක් කරන්න අවශ්‍ය නම් එතුමාට ඒ ඒ අවශ්‍ය නිලධාරීන් හරහා එය කරන්න සිදු වෙනවා. නිලධාරීන්ගේ බලපෑම මත නෙවෙයි. ඔවුනුත් වංචනිකව ක්‍රියාත්මක වෙනව නම් එය වළක්වන්න අමාරුයි. ඒ අයගේ එනිනෙදා? රාජකාරිවලට කිසිසේත්ම බලපෑමක් කරන්න ඇමැතිට බැහැ. එහෙම දෙයක් ආවට ගියාට කියන එක ලොකු අපහාසයක්. අපට අවශ්‍ය නැහැ කාටවත් සුදු හුනු ගාන්න. එහෙම යටින් ගිය වංචාවල් ඉතිහාසයේ තිබුණා. අවශ්‍ය දත්ත ඉදිරිපත් නොකර නිකම් ඇඟිල්ල දික් කිරීමෙන් ලොකු හානියක් වෙනවා.

එහෙම වැරැදි නියෝග දීපු අවස්ථා ඔප්පු කර නැහැ. උදාහරණයක් හැටියට රවි කරුණානායක ඇමැති සම්බන්ධ නඩුවේදී එතුමා ප්‍රකාශ කළා නිදොස් කොට නිදහස් කළා කියලා. එහෙම නිදොස් කොට නිදහස් කරන්න නම් නඩුව විභාග කරන්න ඕන. ඒ නඩුව අවසානයක් දක්වා විභාග කළේ නැහැ. මෙතැනදී රවි කරුණානායක නඩුව විභාග කළ අයිරාංගනී විනිසුරුතුමියටත් අපහාසයක් කරලා තියෙන්නේ. එතුමියගේ නියෝගයෙ තියෙන්නේ මේ අවස්ථාවේදී හරියාකාරව සාක්ෂි ඉදිරිපත් නොකිරීම මත පැමිණිල්ලට අවශ්‍ය දෙයක් කළ හැකි පරිදි නිදහස් කිරීම. ඒක ඩිස්චාර්ජ්. ඕනම අවස්ථාවක නැවත ඒ නඩුව පවරන්න පුළුවන්.

• ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ යම් සාධනීය වෙනසක් සිදුව තිබේ යැයි ඔබ හිතනවාද?

මා දකින්නේ මෙය තමා තිබිය යුතු ක්‍රමය. මේ තුළ විනිවිදභාවය තිබෙනවා. දැන් පැහැදිලි ක්‍රමවේදයකට මේක යන බව සියල්ලන් අත්දකිනවා. මිනිස්සු නීතිය ගැන උනන්දු වෙනවා. තෘප්තියට පත් වෙනවා. අතෘප්තියට පත් වෙන පිරිස ක්‍රියා කරන අන්දමත් සමාජය දකිනවා. නීතියේ ආධිපත්‍යයට බාධා කරන්න කිසිවකු උත්සාහ කරනවා නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව ක්‍රියා කරනවා.

Share on Google Plus